Monday, December 7, 2015

අහිමි වූ ජෙට් එන්ජිම- 2

පළමුකොටස මෙතැනින් කියවන්න
කල පේරාදෙණියට ගොඩවන ඉංජිනේරු සිසුනට  පළවෙනි අවුරුදු දෙකේදී අනිවාර්යයෙන්ම යාන්ත්‍රික ඉන්ජිනේරු විෂයයන් මහැදුරු මහලිම්ගෙන් ඉගෙන ගන්නට ලැබිණි . ඒ වුනත් මහැදුරු මහලිංගම් සමග වචනයක් නොදොඩා පාස්අවුට් වූ ඉංජිනේරුවෝද  සෑහෙන ගණනක් සිටිති.

ඊට එක්  හේතුවක්  වූයේ  අසූ ගණන්වල අග හරියේ පේරාදෙණිය ඉංජිනේරු පීඨයේ තිබුණු ගුරුගෝල දුරස්ථ බවයි. විෂය කරුණු සම්බන්ධව හෝ වෙන කිසි දෙයක් සම්බන්ධව  පිළිසඳරක යෙදීම, පංතියේදී ප්‍රශ්ණ ඇසීම, අකැප දේවල් බවට මතයක් විය. එසේ දුරස්ථ බවක් තිබෙන බවත් එසේ දුරස්ථවම සිටිය යුතු බවටත් නවක සිසුන් වූ අප තුල පූර්ව නිගමනයක් තිබුනේය . සමහර ගුරුවරුන්ගේ පැත්තෙන් මෙලෙස ඈත්ව සිටීමට කැමැත්තක් තිබිණි. ඒත් මෙය මහා මුලාවක්  බව මට  දැන් සිතෙයි.

දෙවන හේතුව වුයේ මහලිංගම් යනු ඉතාම අහිංසක ලජ්ජාශීලී උගතෙකු වූ නිසා බොහෝ විට ඔහු සිසුන් සමග යම් පරතරයක් තබාගෙන දරුවන්ට  ආදරය කරන පියෙක් සේ  හැසිරීමයි. ' පහුවෙලා හමු වූ තාත්තා' කතාවේ කාලිඩ්ගේ පියා මට මේ සමග සිහියට නැගේ.

පසුගිය දිනෙක වත්මන් ඉංජිනේරු පීඨාධිපති මහැදුරු ලීලානන්ද රාජපක්ෂ සමග මම මේ ගැන කතා කළෙමි . ඔහු කීවෙත් මහලිංගම් යනු තමන්ගේ පාඩුවේ වැඩ කටයුතු කරගෙන ගිය, ඉතාමත් අහිංසක උගතෙකු බවය. ඔහු කිසි දිනෙක පරිපාලන කටයුතු වලට කැමැත්තක් දක්වුයෙත් නැත . සිය දිගු සේවා කාලය තුල ඔහු කිසි දිනෙක අංශ ප්‍රධානියෙකු හෝ පීඨාධිපතිවරයෙකු ලෙස කටයුතු නොකළේ එනිසාය .

එහෙත් මේ පෙනේන්නට තිබෙන ඈත්බව අමතක කර ඔහු හා කතා බහ කරන්නට අවස්තාව උදා වූ හැමෝටම මහාලිංගම් යනු කුඩා දරුවෙකු සේ අව්‍යාජ නිහතමානී  පුද්ගලයෙකු බව පසක් වුනේය.

ඉහත  කාටුනයේ  මහැදුරු මහලිංගම්ගේ  මුහුණ ඇන්දේ අපේ බැචෙකු වන රන්ජිත් පද්මසිරි විසින් 1992දීය . 1991 හා 1992 පීඨ දිනයන් වෙනුවෙන් අපේ බැචාලා වන සමන් රංජිත් , සමරක්කොඩි හා රන්ජිත් පද්මසිරි විසින් මෙලෙස අඳි කාටුන් රැසක් ප්‍රදර්ශනය කෙරිණි . මේ  කාටුනය දෙස මහදුරු මහලිංගම් මහත් සොම්නසින් බලා සිටිනු දුටු රන්ජිත් පද්මසිරි පසුදිනක මහලිංගම් රුව සහිත වෙනම චිත්‍රයක්  නිමවා ඔහුගේ කන්තෝරුවට ගෙන ගොස් දුන්නේය .මහැදුරුවරයා ඊට බොහෝ සතුටින් ප්‍රතිචාර දක්වා තිබිණි. 'මමත් ඉස්සර චිත්‍ර ඇන්දා . ඒත් මේ නොයෙක් වැඩ රාජකාරී නිසා ඒ විනෝදාංශය  මග ඇරිලා ගියා' කියා රංජිත්ට කිව්වේය. රංජිත්ට සමු  දෙද්දී මහැදුරුවරයා පැවසුවේ 'මම මේ චිත්‍රය අපේ නෝනට පෙන්වලා එයා කියන්නේ මොකක්ද  කියලත් කියන්නම්කො' .

ඉන් ටික දවසකට පසු ඉංජිනේරු පීඨ දිගු කොරිඩෝරයෙදී රන්ජිත්ව දුටු මහැදුරු මහලිංගම් ඉද්ද ගැසුවා සේ නතර වුනේය . කොරිඩෝයෙදී  සාමාන්‍යයෙන් ඔහු නොකරන දෙයක් කළේය. ශිෂ්‍යයෙක් සමග කතා බහ  කළේය.

' අන්න අපේ නෝනා අර චිත්‍රය දැකලා බොහොම සතුටු උනා ' එසේ කියා රන්ජිත් දෙස මදහස පිරි මුහුණින්  බලාසිට යන්නට ගියේය.

1992 මැයි මාසයේ හිල්ඩා ශාලාවත් සංගමිත්තා ශාලාවත් අතර පිටියේ හැදු ආනන්දගේ වෙසක් කූඩුව ඒ කාලයේ බොහෝ කයි කතන්දරවලට බඳුන් වුවකි. කැරකෙන කුඩුවක් හදන්නට ගියර් මෝටරයක් හොයාගෙන ඉන් තවත් පුලියක් කරකවා යාන්ත්‍රික ඇටවුම නිමකරේ අර උපාලිම තමයි. කූඩුව බලන්නට මහැදුරු මහලිංගම් තනිවම් ආවේ තරමක් සෙනග අඩු වෙලාවකය .   ඔහුගේ නිරීක්ෂණයට හසු වුනේ  මොටරයේ සිට තවත් පුලියක් කරකැවීමට යොදා තිබූ බෙල්ට් එක දෙසය . කොහෙන්දෝ සොයා ගත් ඒ පරණ බෙල්ටය එකට සන්ධි කර තිබුනේ කොහු ලණුවකින් හිර වෙන්න ගැසූ ගැටයකිනි. සෑම  පැය බගයකටම වරක් මේ බෙල්ටයේ ආතතිය නිසා ගැටය ලිහී  කැරකෙන කුඩුව නතර වී යයි. ඉතින් අපේ යාළුවෝ දනිපනි ගා හිර ගැටයකින් ආයෙමත් බෙල්ට් එක ගැටගසා මෝටරය ස්ටාට් කරති.

කිසිත් නොදොඩා එතැනින් නික්මුණු මහැදුරුවරයා පසු දිනක තම දෙසුමකදී මේ සිද්දිය ගැන කතා කර තිබුනේ අපේ  සිසුන් යාන්ත්‍රික ඉංජිනේරු  විද්‍යාවේ මුලික සිද්දාන්ත ගැන සැලකිලිමත් නැති බව සිනහමුසුව පවසමිනි.

1990 දී පමණ  අපට 1970දී  සිසුන්ට දුන් ඔහුගේ දේශන සටහන් වගයක් හමු වුනේය . ඒ සටහන් ඔහුගේ අලුත් දේශන සටහන් සමග සසඳා බැලුවෙමු . කිසිදු වෙනසක් නැත. ඔහු පවතින ලෝකය සමග අලුත් නොවන ගුරුවරයෙක්දෝයි අපට සිතිනි,  නමුත් යාන්ත්‍රික ඉංජිනේරු විද්‍යාවේ ඔහු ඉගැන්වූ මුලධර්ම එහෙම නිතිපතා වෙනස් වෙන ආකාරයේ ඒවා නොවන බවත් හැම දේටම වඩා වැදගත් වන්නේ මුලික සිද්ධාන්ත ටික හරියටම ඔලුවට දමා ගැනීම  බවත් අපට  වැටහුණේ ඉන් කලකට පසුවය. අනික වෙසක් කූඩුවේ කතාව නිසා ඔහු මගතොට  දකින දේ තම ඉගැන්නුම් සඳහා හෙමිහිට එකතුකර ගත්  බව පෙනේ.

නිල්ල දිලෙන හන්තාන කඳුවැටිය හා සොඳුරු මහවැලි මිටියාවත සමග ඈඳුණු  සරසවි බිමේ ලොකු කුඩා මංමාවත්වල  හා පුළුල්ව වැතිරුණ  තණ  පලස්වල  සෑම බිම් අඟලකම ඇති සොබා අසිරිය ඔහුට මග හැරුනේ නැත . එහෙත් මේ කලාතුරකින් බිහිවන විද්වතාගේ චරිතයේ සමහර කොටස් අපට මගහැරුණා  කියා සිතෙන්නේ හේතු කීපයක් නිසාය.

පළමුවන්න මේ අපූරු පුද්ගලයාගේ  සරල ජීවන රටාවෙන් යමක් ඉහගෙන ගන්නවා වෙනුවට අපේ ජීවිත මහා සංකීර්ණ පටලැවිල්ලක් කර ගැනීමය. දෙවැන්න අපේ සිත්වල පැලපදියම්ව තිබූ පූර්ව නිගමන නිසා ප්‍රමාණවත් තරමින් ඔහුට ලං වීමට නොහැකිවීමය. තුන්වැනිව ඔහුගේ ව්‍යක්ත ඉංග්‍රීසි දැනුමත් සන්නිවේදන හැකියාවත් උකහා ගන්නට බැරි වීමය.

සුප්‍රකට ජෙට් එන්ජිමේ කතාව, කම්පන න්‍යාය සම්බන්ධව කරන ලද පර්යේෂණ නිසා ලෝක පුජිත වීම, අතිදක්ෂ ගුරුවරයෙකු වීම  ආදිය සහිත සංකේතාත්මක රූපකයක්, ඉතා හොඳ සරල අහිංසක මිනිසෙක් ආදී ලෙස බොහොම පැතලි ආකාරයෙන් ඔහුගේ චරිතය විග්‍රහ කරන්න බැරි බව මට සිතෙයි.

මහාලිංගම්' නම් චරිතය  බිහි වී ඇත්තේ  පෙරදිගින් ගත්  සරලකම හා අල්පේච්ඡතාව  මෙන්ම  බටහිරින් ගත් ආචාරශීලීත්වය , ශික්ෂණය හා ක්‍රමාණුකුලබව වැනි දේ සම්මිශ්‍රණය වීමෙනි. මේ දේවල් සියල්ල ඔහුට  දායාද කළ පෙරදිග ලෝකයටත් බටහිර ලෝකයටත් ඔහු  වටිනාකමක් එකතුකර නික්ම ගියේය.

තවම  අප කියවා ඇත්තේ මේ මහා චරිත කතාවේ හැඳින්වීම පමණක් බව මට සිතේ .

******************

පසු වදන-ජෙට් එන්ජිමේ කතාව 

පේරාදෙණිය ඉංජිනේරු පීඨ ආලින්දයට ගොඩවන විටම දක්නට ලැබෙන අභිමානවත් දර්ශනයක් වන්නේ අධ්‍යයනය සඳහා කොටස්කර සකසන ලද ජෙට් එන්ජිමකි. මෙය මහැදුරු මහලිංගම්ට  රෝල්ස් රොයිස් සමාගම විසින් පරිත්‍යාග කරන ලද්දක් බව බොහෝ දෙනා අසා ඇති  කතාවකි . මේ කතාවෙන් තවදුරටත්  පැවසුණේ  එකී සමාගමේ ජෙට් යානා එන්ජින්වල තිබූ කම්පන දෝෂයක් මහැදුරු මහලිංගම්ගේ උපදේශකත්වය නිසා විසඳාගත්  වගත් ඊට කෘතගුණ සැලකීමක් වශයෙන් ඔහුට රෝල්ස් රොයිස් කාරයක් තෑගී කරන්නට සැරසුනද එය කාරුණිකව ප්‍රතික්ෂේප කළ අප මහැදුරුවරයා ඒ වෙනුවට ඉංජිනේරු සිසුන්ගේ ප්‍රයෝජනය සඳහා හැකිනම් ජෙට් එන්ජිමක කැපූ ආකෘතියක් ලබා දෙන ලෙස දැන්වීම නිසා එය ලැබුණු බවත්ය .

එහෙත් ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනයේ හිටපු  සබාපති නිව්ටන් වික්‍රමසුරිය ලියා ඇත්තේ   තමන් මහැදුරු මහලිංගම්ගේන්ම අසා දැනගත් පරිදි ඒ කතාව බොරුවක් බවත් සැබවින්ම සිදුවුයේ මහැදුරු මහලිංගම් විසින් රෝල්ස් රොයිස් සමාගමට පේරාදෙනි යාන්ත්‍රික ඉංජිනේරු අංශයේ  කෙරෙන අධයයන කටයුතු පිලිබඳ ලියා යවා හැකිනම් ඉවත දමන ලද ජෙට් එන්ජිමක හරස්කඩ මොඩලයක් ලබා දෙන ලෙස ඉල්ලූ බවය. රෝල්ස් රොයිස් සමාගම ඊට කැමැත්ත  පළකළ  අතර  පේරාදෙණිය සරසවියේ වියදමින් නැව්ගාස්තු ගෙවා එය මෙරටට ගෙන්වාගෙන තිබේ .

කෙසේ වෙතත් එකී ජෙට් එන්ජිම අපට දැක බලාගන්නට  ලැබී ඇත්තේ මහැදුරු මහාලිංගම්ගේ කැපවීම නිසාය.  අනෙක් අතට ඔහු ගෙවූ සරල නිහතමානී දිවිපෙවෙත නිසා ඔහු රෝල්ස් රොයිස් කාරයක් ප්‍රතික්ෂේප කරා යයි කීවද පුදුම වෙන්නට දෙයක් නැත.


Photo Source: puaan.org


Monday, November 30, 2015

අහිමි වූ ජෙට් එන්ජිම

පේ යාන්ත්‍රික ඉංජිනේරු සගයෙකු වූ උපාලි  කලක් වැඩ කලේ විදුලි සෝපාන  හා උත්තෝලක හෙවත් එලිවේටර් ගෙන්වන හා සවි කරන සමාගමකය.

ඔහුගේ සමාගම විසින් එක්තරා කර්මාන්තශාලාවක සවිකරන ලද එලිවේටරයක් බොහෝ දෝෂ සහිත නිසා සමාගමට  දොස්   අසන්නට සිදු වුනේය. කවුරුන් මොන විදිහට උත්සහ කලත් එහි කරදරකාරී ගැස්සීම  හෝ හිටි හැට්යේ නතර වීම වලක්වා අවශ්‍ය කාරිය කර ගන්නට බැරිව හැමෝම නන්නතාරව සිටියෝය.

අලුතින් බැඳුණු යාන්ත්‍රික ඉංජිනේරු තැන වූ  උපාලි   මේ ප්‍රශ්නය ලිහන්නට උත්සහ  කළේය. ඉන්පසු ගෙදර ගොස් මහැදුරු මහලිංගම්  දෙවන වසර සඳහා ඉගැන්වූ සටහන් තොගයක් පිරික්සන්නට විය. උත්තෝලකවල කම්පන ඇති වීම ගැන ඔහු සටහන් දී තිබුණු බව දැක ගත්තේ එවිටය. විභාගයට පාඩම් කරාටත් වඩා සීරුවෙන් රෑ මුළුල්ලේ මේ සටහන් නැවත කියෙව්වේය. අවුරුදු දහයකට  පස්සේ තරමක් ප්‍රායෝගික දැනුමක් එකතු වී තිබු නිසා  අවශ්‍ය දේ පෙරා ගන්නට ඔහුට   පුළුවන් විය.

පහුවදා අදාළ කර්මාන්ත ශාලාවට ගොස් ටික වෙලාවක් ඒ මේ අත කැරකෙමින් සිට උත්තෝලකය රෙපෙයාර් කර දැම්මේය. පුදුමයකි.  වැලි කොට්ටයක හා එක අතිරේක දුන්නක පිහිටෙන් සමාගමටම අවනම්බුවක් වී තිබූ මහා එලිවේටර් ගැටලුව ලිහා දුන්නේය.

මීට වසර ගණනකට පෙර මේ කතාව ඇසු විට මම උපාලිගෙන් ඇසුවේ  'ප්‍රොෆ් මහලිංගම්ට  ජෙට් එන්ජිමක් හම්බුනානේ ඔය වගේ ප්‍රශනයක් විසඳලා උඹටත් ගෙදරට හයි කරගන්න ලිෆ්ට් එකක්වත් ඉල්ලා ගන්න තිබ්බනේ කියලාය .

'මොනව කියනවද මචන්. ඒක දවසකින් දෙකකින් හැමෝටම අමතක වුනා . පස්සේ මට එහෙන් මෙහන් අඩු සැලකිලි, කැපිලි එන්න පටන් ගත්ත නිසා මම ඒ කොම්පැනියෙන් අස්  වුනා' .

ඒත් තමන් කළ විප්ලවීය කාරිය ගැන ඉංග්‍රීසියෙන් නිබන්ධනයක් ලිවීමට උපාලිට වුවමනාවක් තිබ්බෙත් නැත . ඊට නැඹුරුවක් තිබුනේද නැත. එතෙන්දී ඔහුට තමන්ගේ ගුරුන්නාන්සේ හෙවත් මහැදුරු මහලිංගම් මග අරුනේය.

උපාලි  ඊළඟට ගියේ වීදුරු නිෂ්පාදන කර්මාන්ත ශාලාවකටය

මේ කර්මාන්ත ශාලාවට ගොඩ වූ හැටියේ ඔහුගේ පරණ සරසවි මිතුරන් කිහිප දෙනෙක්ගෙන් ඔහුට උපදෙස් ලැබුනේය.
මචන් මෙතන කිසි කෙනෙක්  ඉංජිනේරුවෝ ගණන් ගන්නේ නෑ , වැඩක් කර ගන්න දෙන්නෙත් නෑ . ලොක්කොත් එහෙමයි . කෑම කාමරේ වුනත් අනිත් අයගෙන් වෙන් වෙලා වෙනම කන්නේ . මේක අපට හරි යන තැනක් නෙවෙයි, අනික අර ලයිබ්‍රරියේ යතුර ලාච්චුවේ දාගෙන ඉන්නවා ඇඩ්මින් මැනේජර් . ඉතින් අපි කොහොමද කැටලොග් එකක්වත් අරන් බලන්නේ ;

උපාලි  එතැන රස්සාවට ආ පළමු දවසෙම හවස් වරුවේ ගියේ ඇඩ්මින් මැනේජර් මෙන්ඩිස් වෙතටයි.
' මිස්ටර් මෙන්ඩිස් මට ලයිබ්‍රරියේ යතුර ගන්න පුලුවන්ද ?
මෙන්ඩිස් වහා නැගිට්ටේය .
ලාච්චුව අත ගා යතුර අතට ගත්තේය.
උපාලි  සමගම ඇවිත් පුස්තකාලයේ දොර ඇර දුන්නේ මෙසේ කියමිනි ;

'අනේ මහත්තයෝ කොච්චර දෙයක්ද ඔය මහත්තුරු ඇවිත් මේවා පාවිච්චි කරන එක . මගෙන් මේ යතුර කවුරුවත් ඉලල්ල නෑ මාස ගානකින් . මම ඕක වහල තියන්නේ මේ ක්ලීනින්  එකේ කට්ටිය ඇවිත් ඕක ඇතුලේ නිදා ගන්න නිසා. අනික ඔය වටිනා පොතක් එහෙ මෙහෙ වුනොත් මොන තරම් අපරාධයක්ද?'

සිය සගයින් විසින් එළඹ සිටි තමන්ට ඒත්තු  ගන්න්වන්න්ට උත්සහ කළ  පුර්ව  නිගමනය මොන තරම් වැරදි දෙයක්දැයි උපාලි  වටහා ගත්තේය .

මේ කර්මාන්තශාලාවේ කාර්ය මණ්ඩලයේ අසමගිය හා හිතින් මවාගත් උස් පහත්  භේදකම් ගැනත් උපාලි  අලුතින් සිතන්නට පටන් ගතේය. කෑම පැයේදී සෙස්සන්ගෙන් ඈත්ව ගෙම්බර් එකේ තනිවම කෑම කමින් සිටි නිලධාරීන්  ලඟ වාඩි වී කෑම කන්නට ඔහු උත්සහ කළේය. අනේ මේ කියූ 'ලොක්කා' මොන තරම් සාමාන්‍ය මිනිහෙක්දයි වචනයක් කතා කළ ඇසිල්ලේ පසක් විය. සතියක් යන්නට මත්තෙන් ස්ටාෆ් කැන්ටිම සිනා හඬින්  උතුරන සමගි සම්පන්න තැනක් විය .

අපේ පුර්ව නිගමන නිසා අප අපටම කරගන්නා නොහොඳ බොහෝය . මේ වග කිව්වේ නොවැම්බර්  හතරවැනිදා සමුගත් මහදුරු මහලිංගම් ගැන සටහනක් ලියන්නට පූර්විකාවක් වශයෙනි .

1992 අවුරුද්දේ  පේරාදෙණිය ඉංජිනේරු පීඨයේ වාර්ෂික ෆීඨ දිනය වෙනුවෙන් රඟ  දක්වන ලද ගීත නාටකයේදී  රඝුපති රාඝව රාජාරාම් යන ප්‍රකට භාරතීය  බැති හීයේ  තාලයට ගැයුණු කොටසකි මේ:

අධිපති යාන්ත්‍රික විද්‍යාවේ
සුපිරිම උගතෙකි ලංකාවේ
සේවා ඉසිඹුව ලද තොසිනේ
මහැදුරු මහලිංගම් සැරදේ

සරසවි ජීවිතයේ වසර හතක තුළ  මුණ පෑ දුක්මුසු රසමුසු සිද්දි ගීතමය ජවනිකාවලින් ඉදිරිපත් කෙරුණු දිග නළුවක් වූ මෙහි මේ උපහාර ගීත කොටස තිබුනේ විනාඩියකටත් අඩුවෙනි . මා මුලින් කී උපාලිද මෙහි ප්‍රධාන නළුවෙක් වුනේය.

ඒත් නාට්‍යය ඉවර වී එලියට එනවිට අපට ප්‍රගතිශීලී මිතුරෙකුගෙන් දෝෂාරෝපනයක් අහන්නට සිදු විය .

 'උඹල ස්ටාෆ් එකෙන් ලකුණු දාගන්න ප්‍රශස්ති ගී කිව්වා නේද?'

1991 අවුරුද්දේ විශ්‍රාම ගිය මහැදුරු සෙල්වදුරේ මහලිංගම් පේරාදෙණිය ඉංජිනේරු පීඨයේ  සංකේතාත්මක සලකුණක් වුනේය. අනෙක් අතට ඔහු මුළු විශ්වයේම  වඩාත් ම  සනීපදායක නිවහන ලෙස සැලකුවේ පෙරාදෙණියයි.

ඔහු ගැන මගේ කියවීම මෙහි දෙවන කොටසින් ලියන්නට සුදානමින් සිටිමි


(ඉකොනොමැට්ටා විසින්ද  මහැදුරු මහාලිංගම් ගැන අගනා බ්ලොග් සටහනක්  ලියා ඇත - මෙතැනින් කියවන්න  )
Photo:
people.eng.unimelb.edu.au

Tuesday, October 27, 2015

රා බීමේ ආදීනව හෙවත් ලියන මහත්තයාගේ අබග්ගය

මීදුම විඩෙන් විඩේ ඇවිත් සුදුපාට පුළුන් අලවලා පැලැස්තර දැම්මට අපේ ගමේ කඳුවල සීතලට නිල්වෙච්ච තැන් සේරම වහන්න කවදාවත් බැරි වුනා. මේ කඳු හෙල් බෑවුම් එපාවෙනකම් පිරිච්ච ගමේ දිගට දිගේ උසට උසේ කඳු  නගින, බහින ගල් පඩිපේලි හා සිමෙන්ති කොන්ක්‍රීට් පඩිපේලි තිබුනා.සමහර ඒවා සිරීපාදේ නගිද්දී හමුවෙන මහගිරිදඹේ තියෙන එව්වා වගේ . දිගම එක  තිබුනේ ගමේ කඩ මණ්ඩියේ ඉඳන් ගම පාවුලෙන් ගලාගෙන යන උමා ඔය නානතොට හා ඒදණ්ඩ ගාවට .

කඩ මන්ඩියේ ඉඳන් ඉහළට ආයෙත් බෑවුම ඇති තාර පාර. අපේ ආච්චිලා ගෙදර ලඟින් පටන් ගන්න තාර පාරේ ටිකක් මුදුනට නගිද්දී  යවුල ගහ හම්බ වෙනවා. අද්දා අද්දා කන්ද නැග්ගාම දියතලාව සානුව හම්බවෙනවා. කොටින්ම අපේ ගම තියෙන්නේ ගැඹුරු වළක් පතුලේ. කඳු මුදුනේ පිහිටි තැනිතලා සානුවේ සිට පාර දිගේත් බැහැගෙන බැහැගෙන ඇවිල්ලා ගල්පඩිපෙළ දිගේත්  බැහැලා ඉවර වුනාම හම්බ වෙන ඔයපාර අඩි  දාස් ගාණක් පාතින් තියෙන එකක් කියලයි හිතෙන්නේ. අපේ ගෙදර ආපු සමහර පාසැල් මිත්‍රයෝ සරසවි මිත්‍රයෝ කියන්නේ අපේ ගම තියෙන්නේ මුහුදු මට්ටමෙනුත් පහළ කියල. අපේ ඔය ඉවුරෙන් සිප්පි කටු හම්බ වෙනවා, ලිඳේ හාල්මැස්සෝ ඉන්නවා කියල කාඩ් හිට ගහලා තිබ්බා.

පන්සල තිබ්බේ ඔයට යන ගල්පඩි පාර  අතරමැද. ටී හන්දියකින් තවත් පඩිපෙළක්  විහිදුනා පන්සල දිහාවට, එතැනින් හැරිලා පන්සල පැත්තට යනකොට නුදුරේම තියෙන සිමෙන්ති බැම්මෙන් වටකරපු පංසලේ ලිඳ හම්බ වෙනවා. අඩි  පහළොවක් විතර ගැඹුරෙන් පිරිමි කෙනෙක්ගේ තන මට්ටමට එනකන් විතර නිල් කැටේට පිරිලා තිබ්බ ඒ ළිඳේ වතුර මිහිරි රහයි. (මේ ලිඳේ වතුර මට්ටම මෙහෙමයි කියල දැන ගත්ත දවස ගැන තමයි අද ලියන්න යන්නේ ) පඩිපෙළ නැගලා මහන්සිය නිවාගෙන මේ ලිඳෙන් වතුර ටිකක් බීලා යන ඇත්තොත් හිටියා .

පඩිපෙළ බැහැගෙන බැහැගෙන බැහැගෙන ගිහිල්ලා  ඒදණ්ඩෙන්  එහා පැත්තට ගියාම හම්බ වෙන්නේ ගොවිතැන් බතින්, පැණි හකුරෙන් සරුසාර ගමක් . ඒ සුන්දර එහා ගම ලෝකයේම ප්‍රසිද්දයි කිතුල් රා හා කිතුල් හකුරු වලට. හකුරුනම් එහා ගමෙන් අපේ ගමට ගෙනත් විකුණන ඈයෝ හිටියා. රානම් කලගෙඩි අරන් ගිහිල්ලා පුරවාගෙන එන්න ඕනි . කලගෙඩි වෙනුවට බඩගෙඩි  උස්සගෙන බොහෝ දුර පාර ගෙවාගෙන මේ ගම්සබා පඩිපෙළ දිගේ බැහැලා හොඳ පෙණ  උතුරන කිතුල් රා බඩෙන් එකක් පුරවාගෙන ඒවා ඇඟ පුරා ලේ නහරවලත් දුවද්දී හති හල හලා  ඒ වුනත් තනියම හිනා වෙවී ඔය කන්ද ආපිට නගන වැඩිහිටි ඇත්තෝ අපි  ඕනි තරම් දැකලා තියෙනවා.

අපේ ගමටත් ඉහළින් තිබ්බ ගමකට ඈත පලාතකින් ආපු කොට මහත ලියන මහත්තයා මේ කිතුල් රා ගැන ආරංචි වෙලා තාරපාර දිගේත් පඩිපෙළ දිගේත් සන්තෝසෙන් රෝල් වෙමින් ඇවිත් අපේ අල්ලපු ගමට ඇදිලා ගිහින් තියෙන්නේ කාන්දමකට ඇදෙනව වගේ.

මේ  අවාසනාවන්ත දවසේ ලියන මහත්තයා ජෙමිස්ගේ  ගෙදරින් පෙණ උතුරද්දීම කිතුල් රා  බෝතල් දෙක තුනක් බීලා ඒදණ්ඩෙන්  ගඟේ මෙහා පැත්තටත් ආවා . කොච්චරවාත් කකුලේ එල්ලෙන කුඩෑල්ලන්  ගලවමින් උන්ට බැන වදිමින් ගල් පඩි පෙළ දිගේ මැද හරියක්  එනකොට වටින් ගොඩින් කළුවර වෙලා .
අනේ මනුස්සයට පාර  වැරදුනා පන්සල ලඟදි. මහා පාර පැත්තට එනවා වෙනුවට පන්සල පැත්තට  හැරුණා . වෙරි මරගාතේ ඒ පඩිපෙළ දිගේ විසිවී විසිවී යනකොට අයෙත් හන්දියක් .පාරවල් දෙකක්. ලිඳට හැරෙන සිමෙන්ති පඩි දෙකතුන හා පන්සලට දිවෙන පඩිපෙළ.

අහෝ! අපේ කතානායකයා එතැනින් හැරුනෙත් වැරදි පැත්තට. අඩි දෙක තුනක් තිබ්බම ටිකක් උස  සිමෙන්ති පඩියකුත් හම්බුනා. එතනින් එහාට මොකුත් පේන් නෑ .ඊළඟට ලියන මහත්තයා අඩිය තිබ්බේ කොහාටද දන්නවාද ?
ජබ්බොග් ! පන්සලේ ලිඳ ඇතුලට.

 'සුරා සොඩෙක්  ගිරි කුළකින් පාවී මහා පොළවට පාවී  එද්දී... ගත දැවටෙන මේ සීත සුළං රැල් අහෝ සැපයි කිව්වාලු' .

පිංවතුනි අපේ ලියන මහත්තයා සින්දු කිව්වේ නෑ . අඩිය වැරදිලා තමන් අගාධයකට වැටෙන්න යනවා කියලා තේරුම් ගත්තු ගමන් 'බුදු අම්මෝ මාව බේරා ගනියෝ' කියල මරහඬ තලාගෙනම ලිඳ ඇතුලේ පත බෑවුනා . ඒ මර ළතෝනිය සද්දෙන් මතුවෙලා  ලිඳ ඇතුලේ ගිලෙද්දී මහා  බියකරු දෝංකාරයක් නංවමින් හරියට රයිෆල් උණ්ඩයක් වගේ  ලිඳ වටේ කැරකි  කැරකී ඇවිත් උඩට මතු වුනා.

පන්සල්වත්තේ කෙළවරක කයිවාරු ගසමින් සිටි කොලු නඩේ අතරින් එකෙක් තමයි විමලේ . මිනිහට ඇහුනෙම තමන්ගේ ආතාගේ කට හඬ. මල් පුජා  කරන්න කලින් වට්ටියට පැන් ඉහින්න ලිඳ පැත්තට යන ආතා ලිඳට වැටෙන්න ඇති කියල හිතන් ගම දෙවනත් වෙන්න කෑ  ගැහුවා

 'අනේ මගේ රත්තරං ආතේ  උඹට  මොකද උනේ . ඇයි ලිඳ ලඟට ගියේ මේ කළුවරේඒ ඒ ඒ ඒ '
 කියා කෑ ගසමින් පොළොවේ පස් කන්නට වුනා.
මේ හඬ ඇහිච්ච ගමන් ගමෙන් බාගයක් විතර පන්සලට දුවගෙන අවා, පන්සලේ ඝන්ටාරේ නොකඩවා වැදුනා. මේ අතරේ පන්දම් ඉනිමන් කඹ එහෙම ගත්ත තවත් පිරිසක් ලිඳ වටා රොක් වුණා

හතර පස් දෙනෙක් ඇවිත් ගණකම කඹයක් බොලොක්ක පොල්ලේ ගැට ගැහුවා , උස ඉනිමගක් හා දිග උණ ලීයක් ලිඳට දැම්මා . දෙතුන් දෙනෙක් ලිඳට බැස්සා. තන මට්ටමට වතුරේ ගිලිලා බය බිරාන්තව හිටි මහත දෙහෙත පුද්ගලයාගේ ඉණ වටේ කඹේ  වෙළුනා . කවුද කින්ද මන්ද හොයන්නේ නැතුව වැර වීරියෙන් ඒ පතාක ශරීරය ලිඳෙන් ගොඩට ගත්තා.

විමලයා සැනසුම් සුසුම් හෙලුවේ සිය හීන්දෑරී ආතා වෙනුවට ලිඳෙන් ගොඩට ගත් මේ ජම්බෝල මුණයි කලගෙඩි බඩයි හිමි තැනැත්තා දුටුවාට පසුවයි. ප්‍රථමාධාර ක්‍රම මොකුත් නොදැන සිටි නිසා කවුරුවත් ලියන මහත්තයා බිම පෙරලගෙන බඩේ තිබ්බ රා කලගෙඩිය එලියට ගන්න මහන්සි වුන් නෑ . කොහොම වුනත් මිනිහා හොල්මන් වෙලා හිටියට හොඳ ශරීර සනීපයෙන් හිටියා . ටික වෙලාවක් බිම වාඩි  වෙලා ඉඳලා ගමේ කීප දෙනෙක්ගේ වාරුවෙන් ගෙදර යන්න පිටත් වුනා.

රා බීමේ ආදීනව ඔන්න ඔහොමයි!

අර මහදැනමුත්තා කාගේදෝ ඇඹේනියක් දුන්න තෙලිජ්ජ ටිකක් බීලා රහ වැටුනයින් පස්සේ ඒ දිව්‍ය  පානය හම්බුනේ කොතැනින්ද කියල ඇහුවම අනේ අර මායියා ඔලොක්කුවට කිවලු  අපේ වත්තේ ලිඳෙන් කියල. එදා රෑ  මහදැන මුත්තා ගෝලයෝ ටිකයි අලියෙකුයි අරං  ආවලු ලිඳ උස්සාගෙන යන්න. ලියන මහත්තයා පන්සලේ ලිඳට එබුනෙත් කවුරු හෝ දුන් ඒ වගේ ලණුවක් නිසාද කියලා අපේ අම්මයි තාත්තයි කතා වුනා.

මේ අතීත සිද්දියේ සමහර කෑලි මට අමතක වෙලා තිබ්බේ. සිකුරාදා නිවාඩු දවසේ අපේ තාත්තට කතා කරලා විස්තර මතක් කර ගත්තා. අපි දෙන්නා සැහෙන වෙලාවක් හිනා වුනා පරණ සිද්දි මතක් කරලා . හැබැයි ඉතින් ඕනිවට වඩා අතිශයෝක්තිය දාලා ලියන්න එපා කියල තාත්තා කිව්වේ මගේ ජම්ම පුරුද්ද අත අරින්න බෑ කියල දැන දැනමයි.

(මහදැනමුත්තා ලිඳ උස්සාගෙන යන්න හදපු කතාවේ නූතන වර්ෂන් එක තියෙනවා ලබන සතියේ ලියන්නම්.  මට හමු වූ අපුරු මැවිසුරන් ගැන ලියවෙන කතා පෙළට අයිති එකක් ඒක )

චිත්‍රය ඇන්දේ ඔවිනි 

Monday, October 19, 2015

ගාමිණී බොස්

කොළඹ රස්සාවට ආ මුල් කාලයේදී අමතර ආදායමක් හොයා ගැනීමට මම නිවාඩු
දවස්වල ඔටෝකැඩ්  ටියුෂන් දුන්නෙමි .

නුගේගොඩ රේල්වේ ඇවෙනිව්හි පිහිටි නවීන දෙමහල් මන්දිරයට මාස කීපයක් යනතුරු සෙනසුරාදා උදෙන්ම මා ගෙන්වා ගත්  ගාමිණී සිල්වා මගෙන් මහත් ඕනෑකමින්  ඔටෝකැඩ් ඉගෙන ගත්තේය. ඒ කාලේනම් අලුත් මැජික් එකක් වූ පරිගණක ඇසුරෙන් සැලසුම් අඳින මේ මෘදුකාංගයෙන් ඔහු ඉන් පසු හොඳින් ප්‍රයෝජන ගත්තේය.මට වඩා බොහෝ වැඩිමල් වරලත් ඉංජිනේරුවෙක් වූ ඔහු ඒ වනවිට හොඳින් ලාබ ලබමින් තීබු  ඉදිකිරීම්  සමාගමක හිමිකරුවා වීය .ඒ වුනත් ටියුෂන් ගන්නා කාලයේ ඔහු සිගරට් එකක් වුනත් බිව්වේ මට නොපෙනෙන පරිදිය.  බොහෝ ගරු සරු ඇතිව මට සැලකු ඔහු ඉන්පසු ජීවිත කාලය පුරාම මගේ හිතවතෙක් වුනේය. මගේ හැම වැදගත් කටයුත්තකදීම ඔහු මා සමග හිටියේය.

හැම විටම අලුත් දෙයක් ඉගෙන ගැනීමට උතුරා යන උනන්දුවක් තිබුණු ගාමිණී සිල්වා  වැඩබිමට පැමිණ පම්පෝරි ගසමින් වුනත් එසේ උගත් දේ  තම ගෝල  බාලයින්ටත් කියා දුන්නේය. පලංචි ගහන ක්‍රම, සැටලීම් ගහන ක්‍රම, බිල්ඩින් හදන්නට ඔනෑ අලුත් මාදිලියේ උපාංග ආදිය ගැන ඔහු නිරන්තරයෙන්  හොයා බැලුවේය. මා මුල්වරට ඩිජිටල් කැමරාවක් දැක්කේද ඔහු ළඟ  තිබියදීය.

සෙනසුරාදා නැතිව ඉරිදා උදේ පන්ති කරමුදැයි මා ඇසු විට ඔහු කිව්වේ 'මේකනේ වැඩේ අපි සෙනසුරාදා රෑ යාළුවො සෙට් වෙනවා, ඩාන්ස් කරනවා ඉතින් ඉරිදා  දවල් වෙනකන් බුදියාගන්නවා'.

මහන්සි වී වැඩ කරන අතරේම ඔහු විනෝද වෙන්නටද ස්ථිර කල සටහනක් වෙන් කරගෙන තිබුණේය.

ඔය කාලයේදීම අලුතින් ඉදිකරන්නට යන කර්මාන්තශාලා වැඩබිමකට ඉංජිනේරුවෙක් හොයා දෙන්නැයි ඔහු කිව්වේය. මට නිතැතින්ම මතක් වුනේ කරමින් සිටි රස්සාව එපා වී  ආඩපාලි කියමින් සිටි මගේ මිතුරු දිසාය.

ඒ අනුව දිසා බියගම අලුත් වැඩපලට මුල්ම ඉංජිනේරුවා ලෙස බැඳුනේය.සුවිසල් කර්මාන්ත ශාලාව, ගබඩා, පිරිපහදුව, පරිපාලන ගොඩනැගිල්ල  ආදිය ඉදිකෙරුණු මුළු කාලය තුලම නොයෙක් නොයෙක් දේ කරමින් මමත් ගාමිණී හා දිසා සමග බියගම වැඩපොළ හා සම්බන්ධ වී සිටියෙමි.

වැඩ පටන් ගැනීමට කලින් මේ වැඩබිමට වෙන්කර තිබු මුඩු  ඉඩමට අරක්ගෙන සිටි ගණන්කාරයින් දෙන්නෙක් ගැන අසන්නට ලැබුනේය.  තමන්ට රිසිසේ අණසක පතුරුවන්ට තිබෙන ඉඩම එලි පෙහෙළි වෙනවාට ඔවුන් කැමති වුනේ නැත. මේ මිනිස්සු මෙහෙම කරන්නේ හොඳ ආදායම් මාර්ගයක් නැති නිසා බව පැවසූ ගාමිණී සිල්වා ඔවුන් දෙදෙනාගෙන් කෙනෙකුට වැඩබිමට පස් සපයන කොන්ත්‍රාත්තුව දුන්නේය. අනිකාට කෑම සප්ලයි කරන්නට අවසර දුන්නේය. ඒ දෙදෙනාගේම ජීවන රටාව ක්‍රමයෙන් ඉතා යහපත් අතට හැරුණි .

අලුතින් පත පොත හොයාගෙන නිර්මාණශීලීව  ඉදිකිරීම් කරගෙන ගිය  ගාමිණී ඇතුළු පිරිස හොඳ ලාබයක් ලබමින් අන්තිමේදී බියගම වැඩේ අවසන් කලෝය.

ඉන් ටික දවසකට පසු දිසා අවනඩුවක් කිව්වේය.

'මචන් බලපන්කො  මේ වැඩේ ඉවර කරන්න මම තරම් මහන්සි වෙච්ච මිනිහෙක් ඉන්නවද. දවල්ට කන්න වෙලාවක් නෑ . ගෙදර යනකොට රෑ  දහයයි එකොළහයි ඔහොම අවුරුදු දෙකක් මහන්සි වෙලා වැඩේ ගොඩ දාල දුන්නා .
ඉතින් ?

'ගාමිණී බොස් හැමෝටම බෝනස් දුන්නා. පනස්දහ, හැටදහ හිටන් . මට එක ශත පහක් දුන් නෑ . වෙන එකක් තියා කලින් අස් වෙලා ගිය මිනිස්සුන්ගේ පොත්වලටත් සල්ලි දාලා . උන් දන්නෙත්  නෑ' .

ගාමිණී සිල්වා ගැන මගේ හිතේ තිබ්බ පැහැදීම මදක් සසල වුනත් මම ඒ ගැන වැඩිදුර හිතන එක කල් දැම්මෙමි .

ඊළඟ පඩි දවසේ මා ඇමතූ දිසා මෙසේ කිව්වේය,

'මචන් බොස් මාර වැඩේ තමයි  කරලා තියෙන්නේ.
මොකක්ද ?
මට ගේ හදන්න ලක්ෂ තුනක ලෝන් එකක් දීල තිබ්බනේ කොම්පැනියෙන්.
තව ලක්ෂ දෙකක් විතර ගෙවන්න  තිබ්බා.
ඉතින් ?
බලපන්කො බොස් එකවුන්ටන්ට කියල මගේ ණය ගෙවල ඉවරයි ඒ නිසා ක්ලෝස් කරලා දාන්න කියල. මේ සැරේ පඩියෙන් වාරිකේ  කැපිල නැති නිසා අහනකොටයි දැන ගත්තේ . එහෙම බලනකොට මට තමයි ලොකුම බෝනස් එක දීලා තියෙන්නේ.

**********
බියගම මහා කම්මල් කොන්ත්‍රාත්තුව අවසන තව කුඩා ඉදිකිරීම් කීපයක්  කරාට පසු ගාමිණී සිල්වා කොම්පැනිය වසා දැම්මේය .

කොම්පැනිය වසා දමා  අවුරුදු දහඅටක් යනතුරු හරියටම කියනවානම් පසුගිය එකොලොස් වැනිදා වනතුරු ඔහු කිසිම ව්‍යාපාර කටයුත්තක් කලේ නැත. . ඔහු එක්  රැස් කර තිබු මිලමුදල් වතු පිටි සියල්ල ටික ටික කාට හෝ බෙදා දී හිත සැහැල්ලු  කර ගත්තේය. මේ නිදහස් මනස නිසාදෝ ඔහු වයසට යන බවක් පෙනෙන්ට නොතිබිණි.

පහුගිය මාසයේ ඔහු හමු වීමට ගිය දිසාට කියා තිබුනේ ඔහු දැන් සියලු බැඳීම් අත් හැර දමා  ඇති බවය . ඒ වුනත් එදත් ඔහු දිසාට අලුත් බිස්නස් එකක් හොයා ගන්නට උපදෙසක් දී තිබුනේය.

ඔක්තෝබර් එකොලොස් වැනිදාත්  සුපුරුදු හිනා මුණින් අවදි වූ ගාමිණී සිල්වා සැහැල්ලු සිතින්ම ජීවිත ගමන නිම කලේ  හදිසි හර්දයාබාදයකට පසුබාමිනුයි.

අත් හැරීම හෝ සැහැල්ලුවෙන් ජීවත් වීම පටන් ගත යුත්තේ මිනිස් දහිර්යයේ මහිමය පෙන්වමින් පුළුවන් තරම් ජයග්‍රහණ අත්පත් කර ගත්තාට පසුව බව ඔහුගේ දහම වුණේය .  ඔහු විජිතයක් ගොඩ නගා  දරුවන් දෙදෙනාට ඉහළම උසස් අධ්‍යාපනය ලබා දුන්නේය . ඇසුරු කළ හැමෝම ගොඩ දමන්නට මහන්සි ගත්තේය. මේ අපූරු ගති ගුණ නිසා පවුලේ අයත් හිතවතුනුත් ඔහු කෙරේ වැඩි වැඩියෙන් බැඳෙද්දී ඔහු උත්සහ කළේ  බැඳීම් අඩු කර ගන්නටය.

ඉතා දක්ෂ ප්‍රොජෙක්ට් මැනේජර් කෙනෙක් වූ ගාමිණී  සිල්වා තමන්ට ලැබුණු හැම ව්‍යාපෘතියක්ම  සාර්ථකව නිමා කළේය. ඔහුගේ නායකත්වය හා සාර්ථකත්වය ගැන ඉන් පසුවද කතා බහ කෙරුනේ ඒ නිසාය .

ඔහුගේ ජීවිතය ගැන කියන්නට ඇත්තේද එයමයි. ඔහු ඒ ප්‍රොජෙක්ට් එකත් අති සාර්ථකව අවසන් කොට ඇත .

(මට හමු වූ සුවිශේෂ ඉංජිනේරුවන් කීප දෙනෙක් ගැන වරින්වර සටහන් පෙළක් ලියන්නට හිතුනේ සිමෙන්ති. ගල්වැලි හා සැලසුම් කඩදාසි සමග දිවි ගෙවන මේ මිනිසුන්ගේ  සැබෑ ජීවිතය බොහෝ දෙනාට මග ඇරෙන බැවිනි . මේ ඒ ආකාරයේ සටහන්වල  පළමුවැන්නයි.)
*****************



Saturday, October 3, 2015

සිරිල්ගේ ෂටරිම


( මෙය කෙටි කතාවකි )
ජන්ත ගේ කෑල්ලක් හදමින් හිටියේය . ඉසේල්ලාම බත්රුම් එකයි එක කාමරයක් හදාගන්න පුළුවන් විදිහට උඩ  තට්ටුවෙන් කොටසකට ස්ලැබ් එකක් දාන්නත්  එළියෙන් මඩුවක් ගසා  තාවකාලික කුස්සියක් හදා ගන්නත් ඔහු සිතා සිටියේය.

ඒ වුනත් කාමර හතරක දෙමහල් නිවසට අත්ත්වාරම් දමා එක කෙළවරක් වෙන්නට තිබු කාමරයේ පමණක් බිත්ති ටික නංවා ගත්තාට පසු අජන්තගේ අතේ තිබු පිච්චිය ඉවර වී තිබිණි

කින්ග්   ජෝජ්ලා ගෙදර ඇනෙක්සිය කුලියට ගෙන අම්මා නවත්තා තියා ගත්තාට අම්මා පිරියකින් එහෙ වාසය නොකරන බව ඔහුට තේරුම් ගිහිල්ලා තිබුණි.
'තිබ්බ මහගේ කඩා දාලා තට්ටු දෙකට ගෙවල් හදන්නනේ  උඹට වුවමනා වුනේ' . අම්මා නිතර ආඩපාලි කීවාය
'අම්මේ තිබ්බ එක කඩා වැටෙන්ඩ  ඔන්න මෙන්න කියලනේ තිබ්බේ'.
අම්මා කිසිත් නොකියා කරබා ගත්තී මෙසේ සිතමිනි 'ඒ වුනාට මට ඔය එක එකාගේ අගුපිල්වල ලගිනවට වඩා පරම්පරාවක් හිටිය පරණ ගේ ඇතුලෙම ඇස් දෙක පියාගනන තිබ්බානම් '

ඒ අතරේම ඇයට සිහිපත් වුනේ අජන්ත මේ වැඩේ නොකලානම් නොබෝකලකින් පරණ ගෙයි  මුලප්පරාලය කඩා වැටී මහා අනතුරක් වෙන්ට තිබුණු බවය , නැත්නම්  ඒ වෙනකොටත්  එකිනෙකා නුර්ස්නා ලෙස ඈත්වෙමින් සිටි පරණ ලොකු මෝඩ ගඩොල්  විසින් මවන හිදැස් විසින් පාරේ යනවුන්ට ගෙයි නැතිබැරිකම් උලුප්පා පෙන්වනු ඇති බවය.

ඔප්පු නිරවුල් නැති නිසා බැංකු ණයක් ගන්නට බැරියෙන් අජන්ත ගේ හදන්න පටන් ගත්තේ මාස දෙකක පඩිය ඇඩ්වාන්ස් එකක් අරගෙනය. ඉන්පසු අම්මාගේ රත්රන් බඩුද අයියාගෙන් ඉල්ලා ගත මුදල්ද පොලියට ගත්  මුදල්ද අවසන් වීම නිසා ඔහු පතුලටම හිර වී ගියේය .
යකඩබඩු  කඩෙන් ආයේ ණයට  දෙන්නේ නැති වග දන්වපු දවසේ ඔහු ඉල්ලා තිබුණේ ෂටරීම් කෑල්ල ගැසීමට ඕනෑ  කරන රුපියල් දහදාහක් වටිනා ෆ්ලයුවූඩ් තහඩු දහයකි.

කම්බිත් ඇත. මෙටල් ගලුත් ඇත. සිමෙන්තිත් ඇත. කම්බි  කූරු ඇත. දැන් ඇත්තේ ෂටරිම ගහන එකය. මේ පොඩි ෂටරීමක් දවස්  තුනෙන් ගසා පහුවදා කම්බි බැඳ  ඊළඟ දවසේ කොන්ක්‍රීට් දමන්නට පුළුවන.

'මහත්තයා ෂටරින් ලෑලි  ටික ගෙනල්ල තියල අපිට පණිවිඩයක්  එවන්න අපි එන්නම්'. ගලහබාස් කිව්වේ  කාගේදෝ ගෙයක් හදන්නට ගාලු යන්නට  පිටත් වෙද්දීය .

දැන් ඉතින් ලබන මාසේ පඩිය ලැබෙනතුරු කරන්නට දෙයක් නැත. ණයට ගන්නට තැනක් නැත. පොඩි ගානක් තිබ්බත් බාස්ලාගේ ගෝලයින්ගේ දවසේ වියදම් සල්ලිත්, පොඩි පොඩි අඩුම කුඩුමත් ගන්නට එය  ඕනෑ  වෙයි.

ඉතින් මේ අල්ලපනල්ලේ අජන්තට ඝන දෙවි නුවණක් පහළ  වුනේ වැඩපලේ අලුත් ෂටරිම දෙස බලමින් ඇවිදිමින් සිටියදීය. මේ ෂටරින් ලෑලි හතරපාරක් පාවිච්චි කරාම අයින් කරන්න ඕනි. ලබන අඟහරුවාදා එහෙම ගැලවෙන ෂටරින් තහඩු දහයක් දොළහක් තියෙනවා. ඉතින් ඒ ටික සිරිල්ට කියලා සුද්ද බුද්ද කරගෙන ගේට්‌ පාස් එකක් දාගන්න එකනේ තියෙන්නේ.

මහලොකු ඉංජිනේරුවෙක් වුනාට ගෙයි වැඩටික කරගන්න ලක්ෂ දහයක් නැති අසාර්ථක මිනිහෙක් ලෙස සමහරුන් ඔහු දෙස බැලුවේ, වැඩබිමේ උප  කොන්ත්රත්කරයෙකුට කිව්වනම් ඔය වැඩේ නොමිලේම කර දෙන බව දන්නා බැවිනි.

දැන් මේ ඩිස්පෝස්  කරන්න තියෙන තහඩු ටික ලොක්කට කියලම ගෙනියන්න පුළුවන්. අනික මේ කොළඹ අධි ආරක්ෂක කලාපේ බලධාරීන් වර්ග කීපයක් ඉන්න තැන ඇණයක් මුරිච්චියක්වත් අනවසරයෙන් ගෙනියනට් කාටවත් බැරිය.

එහෙම නොවෙන සයිට් එකක හිටියත් අජන්ත කවදාවත් අහක දාන දෙයක් මිස කිසිවක් ගෙදර ගෙනිච්චේ  නැත. නිකන් ඉල්ලුවෙත් නැත.
ෂටරින් ගලවන්නේ අඟහරුවාදය.
සඳුදා උදෙන්ම අජන්ත ගලහබාස්ට කතා කළේය.
'බදාදා උදේ එන්න. මම ෂටරින් ලෑලි ටික ගේනවා. මේ සතියේ කොන්ක්‍රීට් ටික දාගත්තැකි . ලබන සතියේ මට පඩි හම්බ වෙනවා. දිගටම වැඩ කරතහැකි. දෙතුන් දෙනෙක් එක්ක එන්න' .

දවල්වෙද්දී ෂටරිම ගලවා අවසන් වුනේය. තබා ඇති සලකුණු අනුව සිව්වරක් පාවිච්චි කරන ලද  ෆ්ල්යිවූඩ් ශීට් කෑලි හරියටම දොළහක් තිබ්බේය.

'සිරිල්ට කියලා මේකෙන් දහයක්  සුද්ද බුද්ද කරලා කැබ් එකට පටවා ගන්න ඕනි' අජන්ත එසේ සිතා සිටියත් සිරිල් කියන්නත් පෙර ක්‍රියාත්මක වී තිබුණේය  .

වෙනදා කෑම පැයෙන් පසු කොහේ හරි මුල්ලක සැඟවී පොඩි නින්දක් දමන සිරිල් එදා යුහුසුළුව ප්ලයිවූඩ් තහඩුවල තැවරී තිබූ සිමෙන්ති බදාම සුද්ද කරමින් සිටියේය.

මම සිරිල්ට කීවද මේ ශීට් ටික සුද්ද කරලා ගන්න කියල?. මතකත් නෑ .
සුවච කීකරු ගෝලයක් වෙච්ච සිරිල් අනුන්ගේ හිත්  කියවන්න පුළුවන්. පොඩි පොඩි අත්  උදව්වලට් සිරිල් ගෙදර එක්කගෙන ගිහින් තියෙන එකේ අපේ ගෙදර ඊළඟට තියෙන්නේ ෂටරිම ගහන්න කියලා මිනිහ දන්නවා ඇති.

සිරිල් ලී ෂටරින් තහඩු සුද්ද කරමින් සිටි තැනට ගිය අජන්ත ඔහු වැඩ කරන දෙස දයාබරව බලා සිටියේය.

සිරිල් අජන්ත දුටුවේ ටික වෙලාවකට පසුවය. තිගැස්සී අජන්ත දෙස බැලු සිරිල් වරදක් කර හසු වුවෙක් මන් මදක් පසුබා ගොස්  කහට පැහැ දසන් පෙන්නා සිනා සුනේය.

සිරිල්ට මං මහන්සියට ගාණකුත් දෙන්නම්. ඔය ටික හොඳට සුද්ද කරලා කැබ් එකට පටවපන් පුතා. මම අද කලින් ගෙදර යනවා.

ඉන් පසු ඔහු වැඩබිම් කන්තොරුව දෙසට ඇවිදගෙන ගියේ දවසේ ලියකියවිලි ටික ඉක්මනින් අහවර කර දමන්නටය.

බහලුම් පෙට්ටියකින් තැනූ වැඩබිම් කන්තෝරු කවුළුවෙන් ඔහුට වැඩබිමේ බොහෝ වගවිස්තර පෙනෙයි. ඒ  සියලු දේ  පරදා ඔහුගේ නෙත යොමුවුණේ සිරිල් වැඩ කරන තැනටය.

මීට මදකට ඉස්සෙල්ලා දකිද්දී කඩියකු මෙන් වැඩ කරමින් සිටි සිරිල්ගේ උද්යෝගය අඩු වී ඇති සෙයකි. ඔහු ඕනෑවට එපාවට දෙපසට වැනෙමින් ෆ්ලයිවූඩ් තහඩු  ටික පිස දාමින් සිටියේය . ඒ අතර විනාඩි ගණන් නතර වී එක තැන බලා සිටියේය.

අජන්ත පුරවමින් හිටි ෆෝරම් කොළ ටික උඩින් යකඩ කෝදුව තබා සිරිල් වැඩ කරන තැනට ගියේය
සිරිල් අසනීපෙන්ද?
සිරිල් හිස ඔසවා බැලුවේය. ඔහුගේ දෑසේ කේන්තියක් තිබිණි.
සිරිල්ට මහන්සිනම් කියන්න මම යසරත්නට  කියල ඔය වැඩේ කරවගන්නම්.
සිරිල් දන්නවනේ මම ඔෆිස් එකේ මිනිස්සුවත් බඩු  භාණ්ඩයක්වත්  මගේ වැඩකට ගන්නේ කොච්චර කලතුරකින්ද කියල. එහෙම වැඩක් ගත්තත් මම ඒ කටත් ගෙවනවානේ.

'අනික ඔය තහඩු ටික අද හවස ලොරියේ පටවාගෙන පාමංකඩ ඉස්ටෝරුවේ  ගොඩ ගහන්නනේ  හිටියේ . පස්සේ වේයෝ කෑවාම  කහළ  ගොඩට දානවා. ඉතින් කවුරුහරි ප්‍රයෝජනයක්  ගන්න එක හොඳයිනේ'.

 සිරිල් අජන්ත කී දේ නෑසුනාක් මෙන් දිගටම තුනී ලෑලි  තහඩු ටික සුද්ද කරගෙන ගියේය.

හවස වැඩ අවසන් වෙන හෝරාවේ ලී තහඩු ටික කැබ් රියට පටවා ගැනීමට සිරිල් උදව් නොකළේය.  ඔහු ඒ වෙලාවේ කාරිය මග හැර කොහේදෝ ගොස් සිටියේය .
ඉස්ටෝරු කාමරයේ අත් උදව්වට සිටි යසරත්නව හවුල් කරගෙන තහඩු ටික වහානයට පටවා ගන්නට අජන්ත සමත් වුනත් යසරත්නගේ පවා  මුහුණේ යම්කිසි විරෝධාකල්පයක් පෙනෙන්නට තිබුණි.
ඔහු කැබ් තට්ටුව මත ප්ලයිවූඩ් තහඩු අත හැරියේ එපා වාහෙට හොදි බෙදන්නාක් මෙනි .

තේරුම් ගැනීමට අපහසු මේ බහුබූත හැසිරීම් මැද බයාදු සේවකයෙකු වූ යසරත්නට මදක් සැර වැර වී ඇත්ත අසා ගැනීමට අජන්තට හැකි විය .

සිරිල් ඉන්නා පර්චස් තුනේ ඉඩම් කෑල්ලේ පුංචි කාමරයක උඩ තට්ටුවක් දැමීමට සියල්ල ලැහැස්ති කොටගෙන තිබේ. හෙට බාස්ලාද එන්නෝය. හවස පාමන්කඩට පටවන අබලි බඩු ටිකක් සිරිල්ලා ගෙදරට ගෙන ගොස් බෑමට ලොරියේ රියදුරා සියල්ල සුදානම් කරගෙන සිටී . මෙය කන්තෝරුවට හොරෙන් කරන වැඩකි. නැත්නම් හොරකමකි. ලොරිය පදවන ආනන්දට දීමට ගල් අරක්කු බෝතලයක් සිරිල් විසින්  කල්තියා අරගෙන ඇත්තේ දෙදෙනෙකුට ණය වීමෙනි .

දැන් අජන්තගේ මැදහත් වීම නිසා ඒ 'හොරකම' වැළකී තිබේ.

හ්ම්ම් අජන්ත පපුව හිස් කර ගත්තේය.

'යසරත්න මේ බව මම දන්නා වගක් කාටවත් කියන්නා එපා'.

'දැන් ගිහිං සිරිල්ට එන්න කියනවා මා එක්ක යන්න'.

ඕ ටී නොකරන බොහෝ දවස්වල කිරිබත්ගොඩට යනතෙක් අජන්තගේ වහනයේ නැගී යන්නට සිරිල්ට අවසර තිබේ. කිරිබත්ගොඩින් වත්තල පාරේ හැරී ටික දුරකදී හමුවන අතුරු පාරකින් ගිය විට සිරිල් වෙසෙන අනවසර රිසර්වේෂන් ඉඩමේ හැදූ ගේ කෑල්ල තිබෙනා බව අජන්ත දැන සිටියේය.
කිරිබත්ගොඩ පසු කරාටත් පසු අජන්තටනම් නුවර පාරේ තවත් හැතැම්ම දහයක් විතර යා යුතුය

මේ කල්පනාවේ ගිලී සිටින අජන්තට සිරිල් සොයා ගොස් හිස් අතින් පැමිණි යසරත්නගේ බයාදු කටහඬ ඇසුණි .

'සිරිල් එන්ඩ පරක්කු වෙනවා  කියනවනේ සර්' .

අජන්ත කෝපාවිෂ්ඨ වුනේය

දෙන්න තුන් දෙනාගේම රස්සා නැති කර ගන්නද හදන්නේ? . නගින්ට කියනව මිනිහට ඇවිත් වාහනේට.

තවත් විනාඩි ගණනාවකට පසු ඉටි බෑග් එකකට දමාගත් හිස් කෑම පෙට්ටිය අතින් ගත් සිරිල් අජන්තගේ වාහනේ පසු පස අසුණට  ගොඩ වුනේය .

නුවර පාරේ වාහන තදබදය මැද්දෙන් කිරිබත්ගොඩ හන්දියට රථය ළඟාවනතෙක් දෙදෙනා අතර කතා බහක් නොවීය .

'ඉස්සරහින් මං  බහිනවා මහත්තයා ' කියා වෙනදාටනම්  බොහොම ලෙන්ගතුව පවසන සිරිල් අද උගුර පමණක් කාරා තමන් ඉන්නා බව අජන්තට මතක් කර දුන්නේය.

 ඒ වගක් නොතකන්නාක් මෙන් ඉදිරියට ඇදුණු රථය නුවර පාරේ කෙලින් යන්නේ නැතිව වත්තල දෙසට හැරවිණි .

'සිරිල් මට හරියටම කියන්න ඕනි ගෙදරට යන පාර . ගේ ළඟටම වාහනේ ගන්න පුළුවන් නේද ?

සැනෙකින් සිය වත මඩල ඒකාලෝක වී ගියමුත් ඇස් දෙකට කඳුළු පිරුණෙන් සිරිල්ට ඉස්සරහා පාර පෙණුනේ නැත . ඒ මදිවාට අජන්ත මහත්තයා ඇසු  ප්‍රශ්නයට උත්තර දී ගන්නට බැරිව ඔහුගේ දිව පැටලුණේය.

Photo:smallhouseplans.biz

Monday, September 7, 2015

මස්රොටී ස්මරණ

නාරාහේන්පිට පැත්තෙන් දවල් කෑම බඩ  පිරෙන්න කාලා තව අයිස් කෝපි  එකකුත් බීලා ආපහු එන ගමන් බොරැල්ලෙන් දෙමටගොඩ පැත්තට හැරෙව්වා . 'ඔහොම නවත්තන්න නවත්තන්න' අපේ බිරින්දැයි දෝනිලා දෙන්නයි එක වර මරහඬ දෙන්න තියාගත්තා.

හතර වටේ වාහනවලින් බැනුම් හෝන් අසා ගනිමින් සයිකල් බසාර් එක ඉස්සරහ පාර අයිනේ  අනවසර තැනෙක බොහොම අමාරුවෙන් නවත්තා ගත්තා.
ඔන්න ඉතින් අපේ ලොකු දෝනි අම්මගෙන් ඉල්ලා ගත්ත  රුපියල් පණහේ නෝට්ටු දෙක ලෙළවමින්  කඩ මණ්ඩිය පැත්තට දිව්වා .
මේ වගේ වෙලාවට ගිරවෙක් වගේ කියවන මගේ සුපුරුදු දේශනාවක් තියෙනවා .
'ඕවා බදිනකොට ප්ලාස්ටික් බෝතල් හිටන් උණු කරලා දානවලු. පාර අයිනේ බේසම්වල දාගෙන තියෙන කඩචෝරුවල  කොච්චර වාහන දුම දුවිලි වැදෙනවද . අනික ඔය තෙල් තාච්චිය කවදාවත් මාරු කරන් නෑ'.

මම ඔහොම කිව්වට කවුරුවත් අහගෙන හිටියේ නෑ . තව ඩිංගකින්  සිලි සිලි කවරෙකට දාපු බ්‍රව්න් පේපර් බෑග් දෙක තෙල් බේරී බේරී උස්සාගෙන දෝනි ආවා. එයා වාහනේට නගින්නත් කලින් කරස් කරස් ගාලා බැදපු මයියොක්කා පෙති හැපෙන සද්දෙ ඇහුනේ මාව අපහසුවකට පත් කරමින්.

'දවල්ට කාලා පැය බාගයක්වත් නෑ . මේ ගොල්ලෝ ඔය ජරාව කන්නේ හරියට හත් අවුරුද්දකින් කාලා නෑ වගේනේ' .

එහෙම කියපු මගේ කටට කෙළ උනා ඇතිබව වචන උච්චාරණය අනුව කාටවුනත් තේරුම් යනවා  .
'ඇයි ඉතින් දැන් එපා කිව්වේ . ඉස්සරහ බලාගෙන වාහනේ එලවන්න' .

ඔය  කීවට  ටික වේලාවකින්ම  මිරිස් රහ, ලුණු රහ යහමින් තියෙන රස්නේ තාමත් නොගිය මයියොක්කා පෙත්තක් මගේ කටට වැටෙනවා. ඔහොම ඉතින් පෑලියගොඩ හරියට යනකොට අර ගෙනාපු පැකට් දෙකෙන් වැඩි හරියක් මගේ බඩටත් සමෝසමේ ගිහිල්ලා .

කොච්චර් කන්න ආස උනත් මම ඔය කඩචෝරු ජාති ඉල්ලන එක නවත්තලා දැන්  ගොඩක් කල්. ඒක වුනේ අර පොඩි එකා මල් වට්ටියක් වියලා දෙන්න කියල යුද්දයක් කරපු දවසට පස්සේ. හැබැයි අපේ ගමට බස් එක දාන්න ටික කාලෙකට කලින්.

අපි ඉතින් ටවුමට එක්කගෙන යන්නේ මාස ගානකට සැරයක් අලුත් සපත්තු දෙකක් ගන්න හරි පණු බෙහෙත් ටිකක්  අරන් දෙන්න එහෙම තිබ්බොත්නේ. එහෙම ගියපු දවසට නොවරදවාම මට අරන් දිය යුතු අයිටම් දෙකක් තිබ්බා , එකක් පුංචි ප්ලාස්ටික් නලාවක්. අනික බිස්මිල්ලා හෝටලෙන් මස්රොටියක් . මේ රතුපාට හා නිල්පාට මූඩි දෙකක් තිබ්බ පුංචි නලාව පිඹ පිඹ මස්රෝටිය ලෑටි ගසමින් ගෙදරට එනකන් පයින් ආවත් මගේ කකුල් රිදුන් නෑ . මම එන්නේ රජෙක් වගේ. මග දිගට පාර හරහා පනින මුගටියෝ, තණකොළ අස්සේ ඉඳන් එබිලා බලන කොළපාට පෙත්තෝ  ඔක්කොම මට පේනවා. වෙන එකක් තියා  තුත්තිරි මල් උනත් මට මහා විශාලෙට ලස්සනට පේනවා .

ඒත් මේ කියන දවසේ මට මේ පළා පෙත්තොවත්, තුත්තිරිමල්වත් මොකක්වත් පෙනුනේ නෑ . මම අඬ අඬා  අම්මගේ  අතේ එල්ලීගෙන යනවා. කඳුළු සහ  හොටු ගෑවිච්ච නලාව අතට අරං වරින්වර  පිඹිනවා. ආයේ අඬනවා.

අම්ම මාව නලවන්න හදනව. හෙට තාත්ත තලාවේ යනවනේ. එතකොට බිස්මිල්ලා කඩෙන් මස්රොටියක් ගෙනල්ල දෙනවා. දැන් ගෙදර යං. කිරිටොපි හදමු. අම්ම එහෙම  කියන්නේ අපි දෙන්නත් එක්ක සතොසෙන් ගත්ත පැරකුම් උකුකිරි ටින් එක තියෙන මල්ල මගේ දිහාට හරවන ගමන්.

මම තව අඬනවා. ආයෙත් නලාව පොඩ්ඩක් පිඹිනවා. අම්ම ඔසරි පොටින් මගේ මුණ පිහිනවා.

අනේ පුතේ අඬන්න එපා අපි ඔයාට මස්රොටිය ගන්න යනකොටමනේ මේ මගට එන වාහනේ හම්බුනේ . ඒ නාවානම් අපිට ගොඩක් දුර පයින්ම යන්න එපැ යි.

කොහොම හරි ගෙදරටම ආවා කියමුකෝ. කාටත් පේන්න  නලාව ලන්දට විසි කරලා මිදුලේ පෙරළෙමින් මම අඬන්න පටන් ගත්තා
මස් රොටියක් ඕනි! මට මස් රොටියක් ඕනි !!
මේක කොයි තරම් බරපතල උද්ඝෝෂණයක්  උනාද කිව්වනම් කඳුළු  ගෑස් ගහලවත්, සාකච්චා මාර්ගෙන්වත් ප්‍රශ්නේ විසඳන්න බැරිවුනා.
අන්තිමේ මම  ඉල්ලීම දිනා ගත්ත.
ඇඳගෙන හිටිය අත්දිග බැනියමට උඩින් පොලියෙස්ටර් නැෂනල් කමිසයක් දාගත්ත තාත්තා මස්රොටියක් ගේන්න හැතැම්ම දෙකක් ඈතින් තියෙන බිස්මිල්ලා එකට යන්න පිටත් වුණා . ඇවිදලා  ඇවිදලා කකුල් රිදී රිදී තිබ්බත් මමත් අත ඇරියේ නෑ . තාත්තා  පස්සෙන් එල්ලුනා. මාත් හැල්මේ ඇවිදගෙන යනවා තාත්තා එක්ක
ඔන්න තව පැයකින්  විතර අපි බිස්මිල්ලා හෝටලේට ආවා .  ගත්ත ගමන් උණු උණු මස් රොටිය තාත්ත මගේ අතින් තිබා .

තාත්තගේ මුණ මහන්සි පාටයි . කේන්තියක් තිබ්බද මතකත් නෑ .

ඒත්  මස් රොටිය අතට ගත්තට පස්සේ මට මහා මොකක්දෝ දොම්නස් සිතිවිල්ලක් ආවා . ලැජ්ජාවක් වගේ .
'ඉතින් ඕක කන්න'. තාත්ත කීවා.
'යනගමන් කමු'. මම කිව්වේ තරමක් ඇඹරෙමින්.
මගක් දුර ගිහින් මස් රොටියෙන් චුට්ටක් කන්න ගත්තට මෙලෝ රහක් දැනුනේ නෑ . පාර හරහා  මුගටියෝ පැන්නෙත් නෑ . තුත්තිරි මල් ලස්සනට පෙනුනෙත් නෑ . පලාපෙත්තෝ හිටියෙත් නෑ .

තාත්තා පොඩ්ඩක් අහක බලාගන්න වෙලාවක මම මස් රොටියත් ලන්දට විසි කරා .
එදා තමයි අතේ නලාවක්වත් මස් රොටියක්වත් නැතිව ටවුමේ ඉඳන් අපේ ගෙදරට මම මුලින්ම පයින් ගිය දවස.
මට  ඉන්තේරුවෙන්ම කියන්න පුළුවන් ආයේ කෑමක් බීමක් ඉල්ලලා අඬලා නෑ ඉන් පස්සේ කවදාවත්.

කටින් කියලා ඉල්ලුවේ නැතිවට මම ආසාකරන කඩචෝරු මට කොහෙන් හරි හම්බවෙනවා . ඒ මට ආදරේ, මගේ යටි හිත දන්නා කවුරුහරි ඒ 'දහජරාව' කන වෙලාවට.
බැදපු මයියොක්ක පෙති කන්න ලැබෙන්නෙත් ඒ විදිහටමයි.

Photo. sbs.com.au

Sunday, August 23, 2015

සර් කියලා කියාපන්

මීට අවුරුදු බර ගානකට ඉස්සර නවක ඉංජිනේරුවන් ලෙස මමත් පාලිතත්  අර්ධ රාජ්‍ය ආයතනයක  සේවයට බැඳුනෙමු . ඒ දවස්වලම අලුතින් පත් වූ  තරුණ  ඇමතිවරයෙක් අපේ වැඩබිම බලන්නට ආවේය.
ඇමති ආ දවසේ ඔහු සමග තව විස්සක් පමණ පිරිසක් ආවෝය. අපේ ලොක්කාගේ අණ පරිදි ඔහුත් මමත් පාලිතත්  ඇමති හා පරිවාර පිරිසට  වැඩහල් හා පෙරනිමි නිෂ්පාදන පෙන්නන්නට ගියෙමු.

ඇමතිවරයාගේ හා  පිරිසගේ උනන්දුව තිබුනේ තිබෙන දෙයක් උස්සාගෙන ගොස් තමන්ගේ ආසනේ කොතන හෝ සවි කර ගැනීමය. පසෙක පෙරලී තිබු නාම පුවරුවක් දුටු ඔහු කිව්වේ මේක අලුත්වැඩියා කොට අලුතින් පේන්ට් කරවා තම ගමේ නාම පුවරුවක්  සඳහා ලෑස්ති කර දෙන ලෙසය.
ඊට අමතරව සිය  ආසනයේ ඇති ක්‍රීඩා පිටියකට තමන්ගේ නම යෙදු විශාල නාම පුවරුවක් හදා ගැනීමටද ඕනෑ බව කිව්වේය .මේ ගැන යන වියහියදම් කොච්චර කල් වැඩේට යයිද ආදිය ගැන ඇසු ඔහුට  නවක අපි උත්තර දෙද්දී  සමානයෙකුට මෙන් කතා කළෙමු  ඇරත් මේ මනුස්සයාත් තරුණ  වයසේ සිටි  නිසා  සිය ගෝලයන් තරම්ම  රැස්පොට් එකක් ඔලුවට ගෙන නොතිබිණි.
මේ අස්සේ අපේ ප්‍රධාන ඉංජිනේරුවා  පැත්තකට කතා කොට අපට කිව්වේ අර ඇමති තුමාට කතා කරනකොට ඔයා මෙයා කියල කියන්න එපා සර් කියලා කතා කරන්න කියලාය.
ඒත් තරුණ හිතුවක්කරයන් වූ අප දෙදෙනාටම  මේ  ඇමැතිවරයාට සර් කියන්නට හිත නෑමුනේම නැත.
තරමක්  ලොකු යකඩ කඳන් ගොඩක් තිබු තැනක ඇමති හා පිරිස නැවතී කුටු කුටු ගාන්නට වුනේ මේක උස්සාගෙන යන්නට වටිනා බව පෙනුණු නිසාය. අපි පසෙකට වී බලා සිටියෙමු .
ප්‍රධාන ඉංජිනේරු තැන අපව එතැනින් ඔබ්බට කැඳවාගෙන ගොස් මෙසේ කිව්වේය .
.මේ උඹල දෙන්නට මං කියන්නේ අපි කාගේත් හොඳට. ඇමති කෙනෙකුට සර් කියන්න උඹල ටිකක් අදිමදි කරනවා තමයි. ඒත් අපි ආණ්ඩුවේ  සේවකයෝනේ. ආයතන ස්ට්‍රක්චර් එකේ උඩින්ම ඉන්න අපේ සබාපතිත් මේ මිනිස්සුන්ට සර් කියනවානම් උඹලට ඇයි කියන්න බැරි ?
ඒ වන විට ඇමතිවරයා හා පිරිස අප සිටි දෙසට එන්නට පිටත් වී තිබුනේය.
'අන්න අර යකා මේ පැත්තට එනවා සර් කියල කතා කරපල්ල  හොඳද'.


මේ කතාව මට මතක් වුනේ මේ දවස්වල මුහුණු පොතේ සංසරණය වන පොඩි සටහනක් නිසාය
ඉන් කියවී තිබුනේ දේශපාලකයන්ටවත් ඔවුන්ගේ ලේකම්ලාටවත් සර් කියන්නට යන්නේ නැතිව කොන්ද කෙලින් තියාගෙන ඉන්නා හැටියටය,
ඒත් මේ සර් කියන්නා හා සර් කියා අසා ගන්නා තුල ඇතිවන මානසිකත්වය ආසියානු සමාජයේ  ප්‍රධාන මායාවක් හෝ සමාජ ප්‍රගමනයට උදැල්ලක්  වී ඇති බව බොහෝ වාරයක් නිරීක්ෂණය කර ඇත . මේ කතාවට මූට්ටු කරගත හැකි අත්දැකීම් කීපයකි.
සරසවි සිසුවකුව සිටියදී එක්තරා සම්මන්ත්‍රණයකට ආ දේශකයෙකු හා සෑහෙන වෙලාවක් සුහදව කතා බහ කරන්නට ඉඩක් ලැබිණි . මම ඔහු ඇමතුවේ සර් කියලාය. කොළඹ ආවොත් අපේ ආයතනයටත් එන්න. එවක ඔහු පුද්ගලික  ආයතනයක ප්‍රධානියෙක්  විය.
මේ හිතවත්කම එසේ තිබියදී මට ඔහු යටතේ ටික කලක් රස්සාව කරන්නටත්  සිදු විය. ඒ රස්සාවේ මුල් දවසේ මම ඔහු ඇමතුවේ මිස්ටර් අහවලා කියලාය
ඔහු මට හීන් සැරේ මේ වගේ කතාවක් කිව්වේය
'මම කැමති නෑ කාලෙන් කාලෙට වෙනස් වෙන මුල අමතක කරන මිනිස්සුන්ට. දැන් බලන්න ඉස්සර මට ඔයා කතා කලේ සර් කියලා දැන් දැන් මිස්ටර් කියනවා. මට කමක් නෑ කොහොම කතා කරත් . සමහර විට ඔයා පස්සේ නිකම්ම නම කියලත් මට කතා කරන්න ඉඩ තියෙනවා . ඔහොම තමයි අපේ මිනිස්සුන්ගේ හැටි'.
ආයතන ව්‍යුහයේ තමාට පහලින් සිටින සියලු දෙනාම තමන්ට අනිවාර්යයෙන්ම සර් කිව යුතුයැයි සිතන බොහෝ දෙනෙක් ඉහළ  නිලධාරීන් හා දේශපාලකයන් අබියස ඉතාම නිවට ලෙස හැසිරෙනු මා දැක ඇත.
අපේ මැද පෙරදිග වැඩ බිමට පැමණි තෝමස්  නම් සුදු නිලධාරියා 'සර්' කියා තමන් ඇමතු ඉන්දීය ජාතිකයෙකුට බැන වැදුනේය. සර් කියන්නේ තමන්ගේ කඩේට ආපු කස්ටම්ර්ලට එහෙම නැත්නම් නයිට්වරුන්ට . මට නම කියාපන්.
මේ අතර ආසියාතික කළමනාකරුවෙක් උසස් වීමක්  ලද අලුත කලින්  ඔහු හා සම මට්ටමේ සිටි වෙනත් නිලධාරියෙකු ඔහුට නම කියා අමතනවා ඇසී බොහෝ සෙයින් උරණ වූ කතාවක්ද මා අසා ඇත
ඔහු කියා ඇත්තේ 'ඉස්සර ඒවා තියා ගන්න එපා දැන් මට සර් කියලා කතා කරපන්' කියලාය .
මේ සර් කියන්නා තුල ඇතිවන  දීන මානසිකත්වත්  එය අසා ගර්වය ලබා ගන්නා තැනැත්තා තුල ඇතිවන  පුහු මානසිකත්වයත් මා වැඩිපුරම දැක ඇත්තේ ඉන්දියානු හා ශ්‍රී ලාකිකයන් අතරය .
අනිත් බොහෝ රටවලදී සර් යන්න වෙළඳ හා සේවා සන්නිවේදනවලදී යෙදෙන ඇමතුමක් පමණි . සර් කියා ලිව්වා හෝ කිව්වා කියා ඉන් එහාට අරන් යන මාන්නයක් හෝ නිවටකමක් නොපවතී .
මට හිතෙන්නේ මේ විෂය ගැන හොඳ මට්ටමේ සමාජ විද්‍යා පර්යේෂණයක් තාම සිදු වී නැති බවය .
මා මුල්වරට රට රස්සාවකට යන්නට කලින් ලංකාවේදී කාලයක් තිස්සෙම වැඩ කල එක්තරා සමාගමක තරමක ලොකු තනතුරක් පැටවී තිබිණි . පුළුවන් තරමට සිම්පල් මිනිසෙකු වෙන්නට උත්සහ දැරුවද වටාපිටාව විසින් කාන්දු කරන තනතුරු ආඩම්බරයක්ද හිතේ නොතිබුනා නොවේ. මේ  කන්තෝරුවේ  සගයන් ලොකු කුඩා කා අතරත් සර් කියා අමතන පුරුද්ද තිබුනේ ඉතා අඩුවෙනි .
ඒත් සුළු සේවකයන්, රියදුරන් හා පියන්වරුන්ගේ වාග්මාලාවෙන් සර් යන්න ඉවත් කරවන්නට කවුරුත් උත්සහ නොකළහ.
'සර් තේ එකක් ගේන්නද?. සර් ලියුම් ටික ගෙනිහින් දුන්න. සර් වාහනේ ටයර් පන්ච් එකක් තියෙනවා හදාගෙන එන්නම්'.
මේ ආදී දවසකට සර් කියා ඇමතුම් සිය ගානක් ලැබෙන පරිසරයක සිටිද්දී හදිසියේ මම රස්සාව අතහැර විදේශ ගත වුනෙමි
මට යන්න ලැබුනේ රුසියානු කලාපයේ පිහිටි කසකස්තානයටයි
බටහිර කසකස්තානයේ තෙල් කැනීම් ආශ්‍රිත වැඩ බිමක රස්සාවට ගිය දවසේ ඉතා උණුසුම්ව හැමෝටම මාව හනුන්වාදීමට අපේ කළමනාකරුවා පියවර ගත්තේය.
අන්තිමේදී සුපුරුදු පරිදි කුස්සියේ තේ හදන කාන්තාව  අමතා 'ලිගායා මේ ඇවිත් ඉන්නේ අපේ අලුත් මහත්තයා තිලක . තේ එකක් එහෙම හදලා දෙන්න' .


මා අලුත් කන්තෝරු කාමරයේ බොහොම සතුටින් වාඩි  වී මේ නැවුම් පිළිගැනීම් හා අල්ලාප සල්ලාප නිසා තුටු පහටුව සිටිද්දී  ලිගායා ආවාය.
'තිලක තේ එකක්  හරි කොපි එකක් හරි බොන්නට කැමතිද' ?
එය මොන තරම් යහපත් යෝජනවාක් වුවත් කන්තෝරුවේ තේ හදන කාන්තාවද නිකම්ම නම කියා මා අමතද්දී හීනි නෝක්කාඩුවක් හිතට කාන්දු විය .
තේ එකක් බොන්නට වුවමනාව තිබියදීත් මම මොකුත් එපා කීමි. ඇයට ස්තුති සිනාවක් පාන්නට පවා අමතක වුනේය. ඒ  මා විදේශ රටක රස්සාවකට ආ  පළමු දවසය.
ඉන් ටික වෙලාවකට පසු මා සිටි කාමරයට අපේ ප්‍රධානියා සමග ඇතුළු වුයේ ප්‍රියමනාප උසැති සුදු ජාතිකයෙකි. අපේ ලොක්කා මට අමුත්තා  හඳුන්වා දුන්නේය . 'මේ ඉන්නේ ටොම් .මේ තෙල් සමාගමේ නේවාසික අධ්‍යක්ෂ , කොටින්ම අපි සේවා සපයන සමාගමේ ලොක්කා'.
මම හුනස්නෙන් නැගිට ඔහුට ආචාර කලෙමි. ඔහු ඉතා සුහදව ටික  වෙලාවක් මා සමග ආගිය තොරතුරු කතා කළේය.
'මම දවසක උඹලගේ ලස්සන රටට නිවාඩුවක් යන්න හිතාගෙන ඉන්නේ'
මේ අස්සේ ලිගායා එතැනට කඩා පාත් වුනාය . මගෙන් ඇසු ආකාරයට තෙල් සමාගමේ ප්‍රධානියාටත් කිසි ගරු සරුවක් නැතිව නිකම්ම නම කියා 'ටොම් තේ එකක් බොමුදැයි'  ඇසුවාය
ටොම්ට කෙසේ වෙතත් මටනම් ආයෙමත්  අමනාප සිතක් පහළ විය
ඒ වුනත්  ටොම්නම්  ඇයගේ උරහිසට අතක්ද  තිබ්බේය  . 'නුඹ හරිම කරුණාවන්ත තරුණියක් . මට හොඳ තේ එකක් ගේන්නකෝ එහෙනම්'.
අයියෝ මම ඒක්ෂණයකින්  දියවී සල්ලම් වී ගියෙමි

දැන්නම් අපේ සමාගමේ ලොක්කාට නම කියා කතා කරන්න අවශ්‍ය දිරියත් කාර්යාල පිරිසිදු කරන්නා මගේ නම කියා සුබ උදෑසනක් පතද්දී සුහදව ප්‍රතිචාර දක්වන්නට පුළුවන් පිරියත් මා ළඟ තිබේ .
Image: featurefics.com

Monday, August 10, 2015

පොතකින් වට කිරි සිනහව

මීට අවුරුද්දකට පෙර පිට වූ මගේ පොත කියවා බලා හොඳ කිවූ අය මෙන්ම එය කසල ගොඩට දැමුවායැයි කී මිතුරෙක්ද  මට හමු විය. ඔහුට අනුව හැත්තෑව දශකයේත් ලාම්පු පත්තු කළ නිවසක විසු පිටිසර ගුරු පවුලක් වටා ලියැවුනු මේ කතාවලට වඩා වැදගත් කතා ඔහුගේ හා මිතුරන්ගේ තාත්තලා ගැන ලියන්නට තිබේ.
තව පුද්ගලයෙකුට පොතක් තෑගී කළවිට  ඔහු කලේ 'ආ පොතකුත් ලිව්වද  මේක අපේ පුතා සමහරවිට කියවාවි' කියා  නොසැලකිල්ලෙන් පසෙකින් තැබීමය.තව කිහිප දෙනෙක්ම පොත මිලදීගෙන හෝ තෑගී ලෙස ලබාගෙන තිබුනාට කියවන්නට අදහස් කර නැත.

පොතක් ගැන මුලින්ම නෙගටිව් අදහස් ටිකක් කිව්වේ මගේ පොත ගැන ලැබුණු අගය කිරීම් හා සතුටු දනවන ප්‍රතිචාර වගේම ඉහත කී ආකාරයේ සිද්දීන්ද මට ශක්තියක් වෙන බව කියන්නටය. ඒ සියලු දෙනාම මම කැමැත්තෙන් ඇසුරු කරමි. පොතක් ගැන විවිධ මත අද උදහස් තිබිය හැක . ඒ සියල්ල තුලින්  ලැබෙන්නේ හොඳ පන්නරයකි.

මා කිසිදාක දැක නැති සොඳුරු කවියෙකු වන , හැටේ වත්තේ මග්දලේනා  පොත ලියා ගිය අවුරුද්දේ සාහිත්‍ය සම්මාන දිනු සෞම්‍ය සඳරුවන් ලියනගේ මට මේ වගේ සුබ පැතුමක් ඒවා තිබිණි .

‘තිලක සිත‘ ජීවිත කතා ගැන ලියවුණු පොත් අතරින්, මම කියවපු  ලස්සනම, රස ම පොතක්... බිම තියන්න නොහිතෙන තරම් කැමැත්තකින්, මුලු පොතේම තියෙන කතන්දර ටික එක හුස්මට කියවගෙන යන්න පුලුවන්..!

පොත දොරට වඩිනදා මා මුල්වරට හමු වූ සුවිශේෂ රසිකයෙකු මට මෙවැනි පණිවිඩයක් එවා තිබිණි . ( ඔහු සුවිශේෂ යැයි කිව්වේ පොත්පත් වලට බැඳුනු වෘත්තියක නියැලෙන ඔහුගේ විචිත්‍ර ජීවන අත්දැකීම්ද ඉදිරියේදී පොතක් ලෙස එළි දකින්නට නියමිත නිසාය.)

පුදුමයි,
සුන්දර සරල, කාව්‍යමය සිංහලෙන් හැම කතාවකම අවසන, හද ගැස්ම නැවතී, දෑස් පුපුරා කඳුළු උණන හැටි .
හරි පුදුමයි !
සියුම් මානුෂික සම්බන්ධතා, මිනිසා විසින් මිනිසුන් සඳහාම පනවා තිබෙන සියලු මායිම් බිඳ දමා එක විශ්වීය සිද්ධාන්තයක් සේ ඔබේ පෑන් තුඩින් බිහි වී ඇති හැටි.

දශක ගණනාවක් පුරාවට ආදරයෙන් එක්කාසු කර රාක්ක පුරවා ඇති මාගේ පොත් ගුලෙහි 'තිලක සිත' අග්‍රස්ථානයෙහි විරාජමානව වැඩ හිටී.

තිලකගේ නිර්ව්‍යාජ රචනා ශෛලය, අනාගතයේ බිහිවන තම මව්බසට පෙම් බැඳී තරුණ ලේඛක, ලේඛිකාවන් හට පුර්වාදර්ශයක්ම වේවා .

කෝසල තිලකරත්න 

මේ මට ඊ තැපෑලෙන් ලැබුණු තවත් ප්‍රතිචාරයක්

උක්කුන් අයියේ,

තිලකසිත බ්ලොගය  එහෙන් මෙහෙන් කියෙව්වත් අපේ මරණයගේ හොඳම පොත් ලිස්ට් එකට තිලකසිත පොතත් එකතු වෙලා තිබ්බා. කොළඹ ඉඳන් මැලේසියා යනකන් ප්ලේන් එකේ කියවන්න ලැප්ටොප් බෑග් එකට දාගත්තු එකම පොතත් ඒක. පැය 3 ½ ක් ගෙවුණු හැටි මතකත් නෑ. කොහොම හරි ප්ලේන් එක නවත්තනකොට මුළු පොතම කියවලා ඉවරයි, එක හුස්මට !!!

කතා 40 ගැනම මගේ හිතේ මැවුණු සිතුවිලි ප්‍රමාණේ අනන්තයි. මං තනියෙන් හිනාවෙනවයි, අඩනවයි දැකලා Flight attendants ලත් පොතට එබිකම් කරනවා මං ඇස් කොනකින් දැක්කා. නමුත් කථා 10-11ක් නම් හිත පසාරු කරගෙන ගියා...

“ඔයා ආවම ඇති, දෙවන උපත, තුන්වන දේශකයා, ගුරු තරුව, පහුවෙලා හමු වූ තාත්තා, අම්මා අම්මා, හෝඩියේ පන්තියේ ටීචර්, කහපාට ආදරය 1“, ඒ ගොඩට අයත්. කැස්පියන් හඳේ අයිසුලු ගේ දූ පොඩ්ඩ කොහොමද?

ලියන්නට බොහෝ දේ ඇතත්, තවත් පොතකට ධෛර්ය එකතු කරන ගමන්, මේ ඉලෙක්ට්‍රොනික ලියවිල්ලත් මෙතනින් නවතමි. අයියාගේ කතාන්දර නීරස නොවෙන්න හේතුවත් ඒකම වෙන්න ඇති (නවත්තන්න ඕනි තැනින් නවත්තලා තියෙන එක)

ජය.

ප.ලි.
කතන්දර 40ටම චිත්‍ර ඇඳපු දෝණියැන්දලා දෙන්නවත් මතක් නොකරම බෑ. පොතේ පිටකවරේ පිංතූරේ වෙනුවට, චිත්‍රයක් තිබ්බා නම් හොඳයි කියලා හිතෙන්නේ කියවගෙන යද්දි.

අංජන ජයවීර 

මේ ගිය අවුරුද්දේ අගෝස්තු අටවැනිදා සිට  අද දක්වා ලැබුණු සිය ගණනක් වූ විවිධ ප්‍රතිචාර අතරෙන් කිහිපයකි . මම මේක පළ කරන්නද කියා මේ හිතවතුන්ගෙන් අවසරද ඉල්ලා ගත්තෙමි.

පොත එලි දක්වන උත්සවේ ප්‍රධාන දෙසුම් දෙක කලේ මගේ සුමිතුරු මාධ්‍යකරුවන් වන අසෝක ඩයස් හා දර්ශන කරුණාතිලකයි. වැඩ සටහන මෙහෙය වූ  රුවන් ගමගේ වැඩේ ලස්සනටම කළේය .

දර්ශන , රුවන් , හා අසෝකට  අමතරව වත්මන් විදුසර කර්තෘ කුලේද, එවකට දිනමිණ ප්‍රවෘත්ති කර්තෘ වෙලා හිටි අපේ නලින්ද , සිළුමිණ කර්තෘ සුන්දර අයියාද මේ පොතට මාධ්‍ය ප්‍රචාර ලබා දුන්නා මදිවාට බොහෝ දැනමුතුකම් දී උදව් උපකාර කළහ .

මේ පොතට වැඩිම පැසසුම් හා  ප්‍රචාරයන් ලබා දුන්නේ මගේ වත්පොත්  හා බ්ලොග් මිතුරු මිතුරියන්ය.
පොත පළ වන්නටත්  පෙර  රංගී,මාතලන්, ඉවාන් හා වසීලිස්සා ඒ ගැන ලිව්වෝය,
පොත පළ  වුනාට පසු තරුරසී, චන්දන, බෝධිනී  හා නලින් ඒ ගැන ලිව්වෝය. මේ අතරේ මට අමතක වූ නම් එහෙම ඇත්නම් සමා වෙන්ට ඕනය. ගිය අවුරුද්දේ සිටියාට වඩා මම බෙහෙවින් වයසට ගිහින් ඇති නිසා මතකය දුර්වල වී ඇත.
මෙතැනින් නොනැවතී පොත අලෙවිකර ගැනීමට පවා මට උදව් වූ බ්ලොග් සුමිතුරන් රෑනකි . ඉවාන් , රන්දිකා, බෝධිනී හා තරුරසී මේ අතරින් සුවිශ්ෂයි.

මුහුණු පොතේද , බ්ලොග් ලෝකයේද සුහද ප්‍රචාර කප්පරක් ලැබූ මේ පොත පළමු වටයේ කඩවලට දැමු සියල්ල විකිණී අවසන් වූ බව සතුටින් ලියා තබමි. නුගේගොඩ සරසවියට ගීය මාසයේදීද පොත් ටිකක් දුන් නිසා පිටපත් කීපයක් ඉතිරි වී තිබෙන්නට පුළුවන .

පාසැල්වලට හා මිතුරන්ට බෙදන්නට වෙන් කරගෙන සිටි පොත් ස්වල්පයක් හා මෙවර ප්‍රදර්ශනයට දමන්ට සිතා සිටින පොත් ටිකක් මා ළඟ ඉතිරිව තිබේ.

පොත දොරට වැඩීම ගැන හා ඉන් පසු මගේ සිතුවිලි අරබයා මොනවා හෝ ලියන්නයි මගේ හිතවතුන්  කීප දෙනෙක්ම ඉල්ලා තිබුනත් බොහෝ දෙනෙකුට මේ ගැනම  කියවා එපා වී තිබුන බව දනිමි.

ඒත් ගිය අවුරුද්දේ අගෝස්තු අට වැනිදා ගැන කතා නොකර ඉන්නට බැරිය .

එදා අපේ බ්ලොග් හා වත්පොත් මිතුරන් වන නලින් ,තිසරණ,  ඉවාන්, තරුරසී, කල්පනා, ප්‍රා ජේ, කුරුළු, අමිල, කලාහිත හා සුදීක  වගේ තව බොහෝ දෙනෙක් මට මුලින්ම හමු වූ දවසය.

දුරමග ගෙවා පැමිණි මගේ පාසැල් මිතුරන්, සරසවි මිතුරන් හා නෑදෑ හිතවතුන් එදා මගේ  සිත සතුටින් පුරවාලූහ , තව තව ලියන්නට දිරියක් වූහ. එන්නට බැරි වුනද එක හිතින් සුබ පැතු බොහෝ දෙනෙක් සිටියහ. එන්නට පුළුවන් තරමේ දුරක සිටියානම් මා සොයා එන බව දන්නා තව බොහෝ දයාබරයන්ද  ඒ අතර විය.

පෙරාදෙණීයෙන් ආ  මිතුරෙකු මගෙන් ඇසුවේ මේ ගමන මට එන්න කියලා බල කලේ කව්ද කියල දන්නවද? කියාය. ' ඒ තමයි අර ඔයා වලේ ගහ ගැන ලියාපු කවිය. ඒ කවියට මම හරිම කැමතියි' .
මේ වගේ සහෘදයන් හමු වීම හා ඔවුන්ගේ ඇසුර නිසා එදා සිට අද දක්වාම මම බොහෝ සෙයින් උද්දාමයට පත් වී සිටින්නෙමි.

මිනිසෙකුට ජීවිතයේ සතුටුදායකම දවස් තිබෙන්නේ අතලොස්සකි. ගිය අවුරුද්දේ අගෝස්තු අට වැනිදා මා ලැබූ ප්‍රමෝදය අවුරුද්දක් තිස්සේ අලුතින්  දළුලමින් වැඩෙමින් තිබෙන  බව කියන්නේ හිත උතුරා ගිය සන්තෝෂයෙනි.

මුළු ජීවිත කාලයම හම්බ කළ දේ හෝ ලැබූ තානාන්න්තර සියල්ලට වඩා මට ඒ සතුට වටනේය . ඒ සතුට ලැබුනේ ඔබ නිසාය . ස්තුතියි නොකියමි . ඔබට පුංචි තිළිණයක් දෙන්නට සුදානම් වෙමින් සිටින බව විතරක් කියා තබමි .
ඒ අටවිසි මහලයි. තාමත් කළල අවදියේ සිටින මගේ කුළුඳුල් නවකතාවයි .

(චිත්‍රය ඇන්දේ ඔවිනි)

Tuesday, August 4, 2015

කණෙන් ඇදලා ගොඩ දැමීම

ද මගේ යහළු යෙහෙලියන් මහා ගොඩක් උසස් පෙළ ලියන්නට සුදානම් වෙන බව ආරංචිය . මේ වෙන කවුරුවත් නොව මීට අවුරුදු තිහකට විතර ඉස්සර මගෙත් එක්ක උසස් පෙළ ලියු අපේ යාලු මිත්‍රයන්ගේ දුවා දරුවන්ය. ඉන් කිහිප දෙනෙක් සමගම කතා කරන්නට මට පුළුවන් උනත් තව බොහෝ දෙනෙකුට සුබ පතන්නට ඉඩක් ලැබුනේ නැත.

මගේ අවවාදයනම්  ඉහළම ප්‍රතිඵල ගන්න ට්‍රයි කරන්න.ඒත්  වැඩකටම  නැති ප්‍රතිඵලයක් ආවත් ඊටත් සුදානම් වන්න කියලාය. සුද්දගේ භාෂාවෙන් කියන්නේ Try For the Best. But be Ready for the Worst  කියලාය.

මම එහෙම කියන්නේ සාධාරණ හේතු ගොඩක් තියෙන නිසාය.  ඒ ලෙවල් එක වර ඉහළින් ගොඩ ගියොත් හොඳටම හොඳය. ඒත් ගොඩ නොගියත් තව ඕනෑ තරම් කරන්ට දේවල් තියෙනවය. මේකෙන්ම ජීවිත ඉරණම විසඳ ගන්නේ නැතිව ඉහළ ඉලක්කයකට යන්න පුළුවන. ඊට ජීවමාන සාක්කි සපයන කීප දෙනෙක්ම මම දනිමි.

මම හොඳින්ම දන්නේ ඉංජිනේරුවන්  වෙන්නට ගොස් උසස් පෙලින් මග හැරී ආයෙමත් ලොකු ඉංජිනේරුවන්  වූ කීප දෙනෙක්ගේ කතාය. එත් අනෙකුත් අංශවලත් ඒ ආකාරයෙන් විවිධ උත්සාහයෙන් ඉහළට ගිය මිනිසුන් අනන්තවත් සිටිති.

මගේ ගමන් සගයා වූ ප්‍රවීණ  වරලත් ඉංජිනේරුවා උසස් පෙලින් කැම්පස් යන්නට ලකුණු මදි වී සර්වේ  හෙල්පර් කෙනෙක් හෙවත් මිනින්දෝරු මහත්තුරුන්ට අත් උදව් දෙන්නෙක් ලෙස රස්සාව පටන් ගත්  අයෙකි. ඒ රස්සාව කරද්දීම ආයෙත් විභාගය කර, තාක්ෂණ ඩිප්ලෝමාවට තේරී , ඉන්පසු  උසස් විභාග පාස් වී වරලත් ඉංජිනේරුවෙක් වුනේය. අර ඔහු අත් උදව්කරුවෙක් ලෙස මුලින්ම සේවය කළ සමාගෙමේම ප්‍රධානියෙකු සේ සේවය කරද්දී මට ඔහුව හඳුනා ගන්නට ලැබිණි.

මා දන්නා  අයියා කෙනෙක් උසස් පෙළ කරද්දී පළවෙනි පාර ඇණගෙන ඉගෙනීම අතහැර දැම්මේය. දැන් එයාගේ ඊළඟ බලාපොරොත්තුව මැණික් ගරන්නට ගොස් හොඳ සල්ලි කාරයෙක් වෙන්නටය. අයියාගේ ගමේ යාළුවන් හය හත් දෙනෙක්ද සමග මොණරාගල ඔක්කම්පිටියේ මැණික් ගරන්නට යාමට සියල්ල ලක ලෑස්ති  කරගෙන ගෙදර ඇවිත් අම්මාට බොරු කන්දරාවක් කියා අවසර ගත්තේය. තාත්තා එන්නට කලින් බණ්ඩාරවෙලට ගොස් යාළුවන් සමග මොණරාගල යෑමට වාඩි ඇඳුම්, වියළි කෑම බීම සියල්ල පොහොර බෑග්වලට දමාගෙන සිටිනවා කියා ආරංචි වී තාත්තා හැල්මේ වහනයක් කතා කරගෙන බණ්ඩාරවෙල ගොස් ඔහු සිටින තැන ටක්කෙටම හොයාගෙන ඒ අයියාගේ කණින් අල්ලාගෙන ආපහු ගෙදර කැන්දාගෙන ආවේලු.

ඒ ගමන පාඩම්කර පේරාදෙනි යාමට සමත් වූ මේ කියන අයියා ඉන් පසු සත්ගුණවත් උසස් ඉංජිනේරුවෙක් වුනේය.

තවත් මා දන්නා තරුණයෙක් අපේ අක්කාගේ පුතා වගේම තරමක් හිතුවක්කාර ගති පැවතුම් තියාගෙන උසස්පෙළ ගණිත අංශයෙන් විභාගයට ලිව්වේය. පළවෙනි පාර විබාගය අප්සැට් ගිය තැන ගමේ ත්‍රී වීල් යාළුවන් කිහිප දෙනෙක් සමග සෙට් වී හවසට රංචු ගැසීමටත් රා බොන කොල්ලන් ආස්සරය කරන්නත් පටන් ගත්තේලු.

ඉතින් හැමදාම ගෙදර ඇවිත් බිම පෙරළෙමින් මටත් තී වීල් එකක් අරන් දියන්යැයි කියමින් අම්මා සමග රණ්ඩු කරමින් සිට තාත්තාගේ ගෝරනාඩුවෙන් පසු බාගෙට කෑම කා නිදා ගත්තේය. ඔහුට සිහිනය තිබ්බෙම තුන්රෝද රියක් හෝ මොනයම්ම හෝ කුලී රියක් එළවන රියදුරෙක් වෙන්නටය.
මේ අව් අස්සේ කොලුවාගේ අම්මා  කොළඹ සිටි සිය සහෝදරයාට කතාකොට අනේ මල්ලියේ අපේ කොල්ලාව මොකක් හරි කෝස් එකකට දමා ගොඩ දාලා දීපන් කියා කී විට මලයා අක්කාගේ කොලුවා කොළඹ ගෙන්නාගෙන කාර්මික පාඨමාලාවක් තෝරා දී පුංචි ඉදිකිරීම් සයිට් එකක රස්සාවක් හොයා දුන්නේය.

ඉන්පසු තනියම උසස් විභාග කර උපාධියක්ද අරගත් මේ ළමයාද දැන් විදෙස් රටකට වී හොඳ ඉංජිනේරුවෙක් වශයෙන් යහපත් ජීවිතයත් ගෙවයි.

ඒ නිසා දරුවාගේ උසස් පෙළ ප්‍රතිඵල පිටවූ පසු ඒ දැක පස්වනක් ප්‍රීතියෙන් පිනා යන්නට හෝ දරුවාගේ කණින් ඇදගෙන ගොස් හරි පාරේ තබන්නට මගේ හිතවත් දෙමවුපියන්ට තව දුරටත් ඉඩ ප්‍රස්තාව තිබේ  .

මේ කණින් ඇදීම ඉවසා වදාරන දරුවන් උසස් පෙළ ප්‍රතිඵල මොනවා උනත් ජීවිතය ගොඩ දා ගන්නා බව මගේ අත් දැකීම්වලින්ම  කියන්නට පුළුවන .

( මදිපාඩුවට මේ තුන්වන දේශකයාගේ කතාවත් කියවන්න)
Picture: sd72.bc.ca

Thursday, July 9, 2015

මල් බාල්දිය

පේ ගේ වටේ තිබු සරුසාර බෝංචි පාත්ති, පැපොල්  ගස්, කොළ ගෝවා, රිකිලි ගෝවා , අමු මිරිස් හා රටබටු ගස් ටිකට අපේ අම්මා ඉඳුල් වතුර කොරහ හැලුවේ මහත් ආදරයෙනි. ඉඳුල් වතුර කොරහේ තිබුණු රසභාව විඳ රතුපාට ටීක් බෝල ගෙඩි මෙන් ඉදී දිලිසෙන කුඩා රටබටු තක්කාලි ගෙඩි කිරි හොද්දේ හෝ කොල්ලු හැලියේ  සැර දැනී පුපුරා උඩ  පනින හැටි අපි කුස්සියේ ලිප ලඟට වී මහත් සොම්නසින් බලා සිටියෙමු.

අම්මාගේ ගෙවත්තේ ප්‍රමෝදය  අම්මාගේ මුහුණේ හැමදාම තිබුණි. ඇය කොයි තරම් උද්යෝගයකින් කොයිතරම් ආශාවකින් මේ පොඩි වගාවට සාත්තු සප්පායම් කළාද  ? මොනතරම් සැනසිල්ලේ ඒවා උයා පිහා තාත්තාටත් අපටත් කන්නට දී සතුටු වුනාද ?. උදේ ඉස්කෝලේ ගොස් හවස ආපසු ගෙවත්තේ වැඩත් , ඇතැම්විට කුඹුරේ වැඩත් , ගෙදර උයන පිහින සියල්ලත් උතුරා යන සන්තෝෂයෙන් ඈ ඉටු කළාය . අලුත් බෝංචි පැලවල මතුවී එන දළු රිකිලි සේ ඇය හැමවිටම ප්‍රීතිමත්ව සිටියාය. නිරතුරු ඇගේ වූවන ගැවසීගත් සිරියාවන්ත සිනාවේ රහස මේ පැලවලින් නැගෙන දළු මල් හා ගෙඩිවල සජීවී ප්‍රභෝදය වෙන්නට ඇතැයි මට සිතේ.

අපේ  වත්තේ තැනින් තැන ගස්තක්කාලි නම් වර්ගයක්ද  තිබුණි. ගස්තක්කලි යනු පේර ගස් මෙන් උසට වැඩෙන, පුවක් ගෙඩි මෙන් පල බරව රත් පැහැයෙන් ඉදී එන තක්කාලි වර්ගයකි. . ඉදුණු ගස්තක්කාලි ගෙඩි උණු අළු ගොඩේ දමා පුළුස්සා  ඉන්පසු ළුණු , උම්බලකඩ සමග ගලේ අඹරා හදා ගන්නා ලුණු ම්රිස කෑ අයෙක් සිටීනම් ඊට වඩා රස ලුණු මිරිසක් ලොවෙත් නැති බව කියනු ඇති.

අපේ ගේ වටේ තිබූ අම්මාගේ එළවලු පාත්ති ටිකට වතුර දමන්නට බොහෝ විට ගෙට පහල ලිඳෙන් වතුර අදින්නට සිදු වේ. අපේ ලිඳ බරපතල පල්ලමක් සීරුවට බැසගෙන යාර තුන්සීයක් විතර දුර ගිය පසු හමු වෙයි. මේ දවස තිස්සේ වතුර පිරී ඉතිරී යන ලිඳකි. ඒ උතුරා යන වතුරෙන් අපි ලිඳට පහලින් සෙල්ලම් කුඹුරක් හදා තිබුනා මතකය. සපු ගස් දෙකක් හා ටූණා ගස් මන්ඩියක්  වටකරගෙන තිබු ලිඳ නිස්කාන්සුවේ දිය නෑමට අපූරු තැනක් වුනේය. ( ලිඳ ඉහින්නට ආ අපේ පන්තියේ යාලුවෙකුගේ කතාව මම පස්සේ ලියන්නම්)

මේ ලිඳෙන් භාජන කීපයකට වතුර පුරවාගෙන  ගහක් නගින්නාක් මෙන් කන්ද නගිද්දී අපේ ගෙදර හමු වෙයි. මේ භාජන අතර කලගෙඩි දෙකක් හා  ලොකු පනිට්ටුවක්ද තිබුනේය. මේවායින් ගෙනෙන වතුර මල් බාල්දියකට දමන අම්මා ඉන්පසු එළවලු පාත්ති වලට පරිස්සමට ඉසින්න්නීය .
කාලයක් තිස්සෙම වතුර අදිද්දී  හා පැලවලට වතුර දමද්දී   මේ ලොකු පනිට්ටුවේ  හා මල් බාල්දියේ  අඩි තැනින් තැන හිල් වී තිබුනේය.

අපේ කුඩා බස් පාර අවුරුද්දකට දෙකකට වතාවක් අලුතින් වළවල් පුරවා තාර දමා උඩින් වැලි දමන දවස් අපේ සිත්වලට ආශ්වාදයක් ගෙනාවේය.

දවසක් අම්මා හා මම අපේ හෙවල් වලට ටිකක් ඈතින් තාර දමින් සිටි පිරිස වෙත ගොස් අපේ මල් බාල්දිය හා ලොකු පනිට්ටුව  දුන්නේ තාර උණු කරන වෙලාවට මේ භාජන දෙකේ අඩියට තාර ටිකක් දමා දෙන ලෙස ඉල්ලමිනි. එවිට ඒවා වතුර බේරී නොයන සේ තවත් කාලයක් පාවිච්ච් කරන්නට පුළුවන.

පාරේ වැඩට වැඩිපුරම පැමිණ සිටියේ කාන්තාවන්ය. ඔවුහු බොහෝ කැමැත්තෙන් මල් බාල්දිය හා ලොකු පනිට්ටුව අම්මාගෙන් ඉල්ලා ගත්තෝය . තව 'ටිකක් හවස් වෙලා තමයි තාර උණු කරන්නේ එතකොට මේක කරලා දෙන්නම්'. ඔවුහු පාරේ තැන තැන ගල් අතුරමින්, ඒවා තලමින්  සුළු සුළු අලුත්වැඩියාවන් තාමත්  කරගෙන යති.

අම්මාත් මමත් ටික වෙලාවක් එතැන බලාගෙන සිට ගෙදර ආවෙමු. හැන්දෑවේ හයට පමණ ආයෙමත් වතාවක්  එතැනට ගියත් අපට දැක ගන්නට ලැබුනේ තාර බොයිලේරුව උණු කරන්නට තවත් වෙලාවක් ගත වෙන බවයි.

අපි ගෙදර ඇවිත් ටික වේලාවකින්ම  හතර වටින් කළුවර විය. දැන්නම් පාරේ තාර දමන්නට පටන්ගෙන ඇත.බලන්නත් ආසාය. ඒත් මට නිදිමතය.කම්මැලිය.

'පොඩි පුතා දැන් අපි පහළට ගිහින් බලලා එමුද  අපේ මල් බාල්දිය අරන් එන පුලුවන්ද කියලා ?.

මම අම්ම්මාට අකීකරු වෙන්නට තීරණය කලෙමි.
'දැන් බෑ අම්මා'
අනේ අම්මා හොඳටම අසරණ වෙලාය. ඔය පන්නයේ අනුන්ගෙන් උදව් ගන්නා වැඩ වලට තාත්තා කැමැත්තක් දැකවුයේ නැත. එනසා ඈට තනියට යන්නට හිටියේ මා පමණය.
අම්මා පාර ලඟට  යයි. නැවත ගෙට එයි. සුසුම් ලයි.

පහුවදා පාන්දර අම්මාත් මමත් පෙරදින  මිනිසුන් තාර දැමූ  තැනට ගියෙමු.

අනේ තාර දමා අවසන් කොට බෝයිලේරුවද, ගල්රෝලද, විල්බැරැක්ක සියල්ල පටවාගෙන කවුරුත් යන්නට ගිහිල්ලාය. කිසිවක් ඉතිරි කර නැත. අපේ මල් බාල්දියත් පනිට්ටුවත් ඒ ලොරියේම පටවාගෙන  අරන් ගිය බවට තවත්නම් සැකක්  නැත.

මගේ හිත බඩේ ගින්දරින් පිරී  ගියේය. අම්මා හිස් බැල්මෙන් බලා සිටියාය.

මේ ළඟදී දවසක සුපිරි මාර්කට්ටුවකින්  ගෙදරට අඩුම කුඩුම තෝරද්දී ප්ලාස්ටික් මල් බාල්දියක් තියෙනවා දැක මම එතැන නතර වුනෙමි. මේකෙන් එකක් ගමු කියා හිතුනත් මේ අතීත මතකයක් නිසාම මල්බාල්දියක් ගන්නට ආ සිතිවිල්ල කාටවත් නොකියා හිතේ සඟවා  ගතිමි. ඇරත් හෝස් එකෙන් මල් පැලවලට වතුර දාන්නට පුළුවන්නේ .

සටහන :
මේ කතාව මට ලියන්නට හිතුනේ අරලගන්විල ඉස්කෝලේ ගිය කවිඳුගේ බ්ලොග් සටහන් කියවද්දීය. කඳුකර ගොවි ගම්මානයක් පසුබිම් කරගෙන ලියවෙන ඔහුගේ කතා මගේ  හිතට සමීපය .

සිය බාල පුතාත් සමග පැල් රකින්නට ගිය අම්මා එහි සිටී . හොඳින් ඉගෙන ගන්නා ලොකු පුතා සමන්ත පාන්දර තුනට ඇහැරවා පාඩම් කරවූ අම්මා ඇයයි . ඔහු නැගිටින්න කම්මැලි කරන විට  පහළ  කෙළවරේ තිබු ඇඳ  පොල්ලක් ගළවා පහර දෙන්නට හදන්නේ ඇයයි. එසේ කොට දුෂ්කර ගොවි ගම්මානයකින් ආචාර්ය, මහාචාර්යවරු දෙන්නෙක්  බිහිකරන්නේ ඒ අම්මාය.
කවිඳුගේ කතාව බ්ලොග් අඩවි කීපයක විසුරුවාගන්නේ නැතිව පිළිවෙලකට ලිව්වානම් එය අති සුන්දර වියුණුවක් වනු නොඅනුමානය.

photo: sportdonbassa.net

Monday, June 22, 2015

සිල්වියාගේ තාත්තා

සිල්වියාගේ තාත්තා අඩි හයයි අඟල් දෙකක් උසය. උපන් රට ඇමෙරිකාවය. කලකට පෙර  මා ජීවිකාව සපයාගත්  ව්‍යාපෘතියේ නිල නොලත් ජාත්‍යන්තර නියෝජිතයා වුනේ ඔහුය. ආචාර්ය උපාධියක්ද සමග අවුරුදු හතලිහක  සේවා පළපුරුද්දක් තිබුනාට ඔහුට කවුරුත් කතා කලේ නම කියලාය. අපේ සංවිධාන යාන්ත්‍රණයේ ඉහළ පේලියේම සිටි බලගතු පරිසර  සේවා ආරක්ෂක කළමනාකරුවා වු ඔහු  රාජකාරියට අදාළ පුද්ගලයා ලඟට ගොස් පසෙකින් වාඩි වී රාජකාරී ගනුදෙනුව අවසන් කරයි. මේ සරල මිනිස් සබඳතාව හැරුණු කොට කිසි විටක  පුද්ගලික වතගොත කතා කලේ නැත. හැසිරීම දරදඬු විය. යාන්ත්‍රික විය.

ඔහුට දරු පවුලක් සිටින බව යන්තමට හෝ අපට මතක් වුනේ  ඔහු සීරියස් පිට සතිපතා රැස්වීමේදී කළ විහිලු දෙකක් නිසාය. වරක්  ඔහු සියල්ලන්  නිහඬ  කර  විශේෂ නිවේදනයක් කියන්නට තිබෙනවා යැයි කීවේය. මේ නිවේදන බොහෝ විට මාර්ග වසා තැබීම්. අලුතින් පැනවූ නීති අණ  පනත් හෝ  අවදානම්, අනතුරු ඇඟවීම් වැනි දේ විය.
'මෙයයි විශේෂ නිවේදනය අද උදේ පහයි විසි තුනට මම සීයා කෙනෙක් බවට පත් වුනා'
මුලින්ම මේ කියන්නේ මොකක්දැයි අදහා ගන්නට බැරිව සිටි පිරිස ඉන්පසු මහා හඬින්  අත්පොලසන් දෙන්නට  විය

ඊට හරියටම අවුරුද්දකට පසු ඒ විදිහටම ඔහු දෙවන විහිළුවත් කළේය.

'මෙන්න විශේෂ නිවේදනයක් ඊයේ හවස හතයි පහළොවට මම දෙවන වරටත් සීයා කෙනක් බවට පත් වුනා' .

මේ සිද්දි දෙක හැරෙන්නට කිසිදා කිසි විටක පවුලේ සබඳතා හා  ප්‍රශ්න ඔහු අප සමග බෙදා ගත්තේ නැත. නිවාඩුවට ගෙදර ගොස් එන කාගෙන්වත් ඔහු (බොහෝ දෙනෙක් පුරුද්දට කරන්නාක් මෙන්) අඹු දරුවන් සුවෙන් සිටීදැයි නිවාඩුව විනොදජනකදැයි කියා ඇහුවෙත් නැත.

අර්ධ රොබෝවෙක් හා රූලට වැඩ කරන ඉහළ මුලෑදෑනියෙක්  වූ සිල්වියාගේ තාත්තා එතෙක් සිය සගයින් අතර අටුවන් බස්සවා තිබු සිය ප්‍රතිරූපය වෙනස් කර ගත්තේ  මුර්තිගේ තාත්තා සම්බන්ධ සිද්දීයේදීය.

මුර්තිගේ තාත්තා  ව්‍යාපෘතියේ වැඩ මගක් කෙරීගෙන යද්දී කොහේදෝ  සිට ප්‍රදුර්භුත වූ සුරා සුදුවෙන් තොර තවත් එක්  පොතේගුරු නිලධාරියෙකි. තත්ත්ව පාලන ඉංජිනේරුවෙකු වූ ඔහු  සිල්වියාගේ තාත්තා හා සම වයස් වූවෙකි.

ඔහුද විෂයය  කරුණු හැර වෙනත් දෙයක් කතා කරේ නැති තරම්ය. සමාගමෙන් සුදානම් කර දුන් හෝටල් කාමරයක නතර වී කාර්යාල බසයෙන් රස්සාවට ආ ඔහුගේ හැසිරීමේ පොඩි වෙනසක් නිරීක්ෂණය කරන්නට එක්තරා දිනකදී  පුළුවන් විය.

මේ විශේෂ දවසේදී කා සමගවත් කතා බහක් නොකර වහනයෙන් බැසගොස් කන්තෝරු කාමරයට වැදී දොර වසා ගත්තේය . තේ ගෙනෙන ළමයා තට්ටු කරද්දීවත් ඔහු දොර ඇරියේ නැති තැන අත්සන් කර ගැනීමට ඇති ලියුම් මිටියක්ද සමග අනවසරයෙන්ම ඔහුගේ කාමරයේ දොර අරගෙන ඇතුළු වූ කන්තෝරු ලිපිකරු එහිදී  දුටු දසුනින්  භීතියෙන් හා විශ්මයෙන් ගල් ගැසී ගියේය.

හත් දෙයියනේ! අලුත් මහත්තයා කන්තෝරු මේසයට කකුල් දෙක තබා ගෙන මේසය උඩ  තිබු නැපෝලියන් බ්‍රැන්ඩි බෝතලයෙන් තුන් කාලක්ම සප්පායම් වී  දොඹ ගෙඩි දෙකක් සේ වූ ඇස් දෙකින් ඔරවාගෙන පුටුවේ වැනෙමින් සිටියේය.

තරු පහේ හොටලවලදී  හා විශේෂ බලපත්‍ර හිමි කිහිප දෙනෙකුට පමණක් මත්පැන් බොන්නට පුළුවන් ඒ රටේදී කන්තෝරුවේදී හෝ ප්‍රසිද්ධ තැනකදී මත්පැන් බී අසුවුවහොත් හිරේ ලැගීමට හෝ රටින්ම පිටුවහල් වීමට සිදු  වේ.

එහෙව් තත්ත්වයක් නිසා තැතිගෙන සිටි ලිපිකරුවා තක්බීර් වී බලා සිටිද්දී ඔහුව තමන් ලඟට කිට්ටු කරගත් මුර්තිලා තාත්තා අහිංසක ලිපිකරුවා ළඟ තිබූ ලියුම් මිටිය අතට ගත්තේය. ඉන් පසු වියරුවෙන් සිනා සෙමින් කාමරය පුරා සී සී කඩ විසුරුවා හළේය.

'යනවා එලියට'. ගුගුරා කියමින් ලිපිකරුව එලවා දැම්මේය. වැනි වැනී විත් දොර වසා ගත්තේය.

මේ බිහිසුණු ආරංචිය ඇසුරු සැණින්  මෙන් කන්තෝරුව පුරා පැතිරෙද්දී ඔහුට කතා කොට පිළිවෙලක් කරන්නට ගිය හැමෝම එලවා දමන ලදී. ඒ අතරේ  කවුදෝ හීන් සැරේ ගොස් ඔහුගේ මේසය උඩ  තිබු බෝතලය  උස්සාගේනවිත් කුණු බඳුනට දමා තිබුනේ ඉහල නිලධාරියෙකුට අසුවන්නට  පෙරය.

සිල්වියාලා තත්තා වැඩේට එන්ටර් වෙන්නේ මේ අතරවාරයේදීය.  මුර්තිලා තාත්තාට දැන්නම් වැඩ වරදින බව පැහැදිලි විය. එක්කෝ රස්සාවෙන්  එලවා දමන්නට හෝ ඉස්පිටිතාලයට ගෙනගොස් දමන්නට හෝ ගෙන යන්නාක් මෙන් බේබද්දාවත් වත්තන් කරගෙන සිය රථයට නංවා ගත්  සිල්වියාලා තාත්තා ඔහු ආපසු හෝටල් කාමරයට ඇරලවා මොකුත් නුණා සේ ආපසු ආවේය.

නිවාඩුවකින් පසු මුර්තිලා තාත්තා වැඩට ආවේය.  මුර්තිලා තාත්තාට රාජකාරීමය හෝ නීත්‍යානුකුල ගැටළුවක් නොවෙන පරිදි ප්‍රශ්නය විසඳා දමා තිබුනේ ප්‍රශ්න දෙකකට පිලිතුරු ලබා නොදෙමින්මය.
එදා මුර්තිලා තාත්තා කන්තෝරුවේදී බිව්වේ ඇයි? . රූලට වැඩ කරන සිල්වියාලාගේ තාත්තා ඒ ප්‍රශ්නය ලිස්සා ඇරියේ ඇයි?

කනින් කොනින් ආරංචි වුනේ මුර්තිගේ තාත්තා එසේ බීමත්ව හැසිරුනේ සිය එකම පුත්‍රයා පිළිකා රෝගයකින් පෙළෙන බව හඳුනා ගත්  ආරංචිය ලද දවසේ  බවත් එය දැනගත් පසු සිල්වියාගේ තාත්තාගේ හිතද හෝස් ගා උණු වී ගිය බවත්ය.

ඉන් ටික කලකට පසු එළඹුණේ සිල්වියාලාගේ තාත්තා විශ්‍රාම යන දවසය.

ඔහුගේ සේවා ඉසිඹුව  වෙනුවන් පැවතී දිවා භෝජන සංග්‍රහය අවසන ඔහුට කතාවක් කරන්නැයි ඇරයුමක් ලැබිණි. අරාබි ඉන්දියානු කෑම වට්ටෝරු මිශ්‍ර සාරවත් අහර වේලකින් සන්තර්පණය වී සිටි අපේ ඇත්තන්ගේ ඝෝෂාකාරී කතාබහ හා විහිලු තහළු මැද්දෙන් කතාවක් කරන්නට ඉදිරියට ආ ඔහු ඉන් පසු සාක්කුවට අත දමා  තුනට හතරට නැමු කොලයක් එලියට ගත්තේය .

වටපිට බලා  අපේ ලියකියවිලි  පාලකවරියට අතින් සන් කළ ඔහු ඒ කොලයේ ඇති දේ කියවන්නැයි අභිනයෙන් දන්වා රැස්වීම් කාමරෙන් පිට වී ගියේය.

ඈ කියවුයේ මෙවැන්නකි.

මගේ ආදර තාත්තේ,

තාත්තා පණ  වගේ ආදරය කරපු රස්සාවට සමු දීලා එන දවසේදී අපේ පවුලේ ලෙන්ගතුකම ඔයාගේ කන්තෝරුවේ සියලු දෙනාටම දන්වා සිටින්න. පහුගිය කාලෙම තාත්තා ආදරෙන් රක බලා ගත්තාට අපි ඔවුන්ට ගොඩක් ස්තුතිවන්ත වෙනවා කියන්න.

අවුරුදු හතළිහක් කරපු රස්සාවෙන් සමු ගන්න එක ඔයාට කොයි තරම් අමරු තීරණයක්ද කියල අපි දන්නවා. තාත්තා ගෙදර පවුලේ අපිටත් වඩා රස්සාවට ආදරේ කළා කියලා අපි නෝක්කාඩු කිව්වා තමයි. තාත්තා අපේ ගෙදර ඉඳන්ම රස්සාවට ගිය කාලේ තමයි මගේ ජීවිතේ සුන්දරම කාලේ . ඔයා මුලින්ම දුර රටක රස්සාවට යනකොට මට අවුරුදු දහයයි. එදා ඉඳන් පහුගිය අවුරුදු විස්සෙම අපි වරින් වර එකට හිටියා . ඈත්  වුනා . ඒත් ගෙදර හිටියත් නැතත් අපේ ගෙදර හැමදාම මුල් තැන ලැබුනේ තාත්තට . මම කසාද බැඳලා මේ  ගෙදරම පදිංචි වුනේ තාත්තයි මමයි දෙන්නම  නැති පාළුව අම්මාට දරා ගන්න අමාරු නිසා. මගේ මහත්තයා ටොම් හා දරුවන් දෙන්නාත් තාත්තාට කොච්චර ආදරේ කරනවද කියල ඔයා අපිත් එක්ක ටික කාලයක් ඉන්නකොට තේරේවි.

ඔයා හිත දරදඬු මිනිහෙක් කියල ඔයාගේ කන්තෝරු යාළුවො ඔක්කොම කියනවා ඇති. ඒ ගොල්ලන්ට කියන්න මුර්තිගේ තාත්තගේ කතාව.

පැන්ෂන් අරන් ගිය තාත්තගේ යාලුවා අශෝක් පවුලේ කවුරුත් කතා කරන් නෑ, ගණන් ගන්නේ නෑ කියල තාත්තට  දුක්ගැනවිලි ලියල එව්වා නේද ? එයාව  ආපහු ගෙන්නාගෙන තව ටික කාලයක් රස්සාව කරන්න හදල දුන්නේ තාත්තා නේද ?.

තාත්තටත් එහෙම වෙයි කියල නිකමට වගේ දුක හිතුනද? අනේ හීනෙකින්වත් එහෙම හිතන්න එපා තාත්තේ . ඔයා රජෙක් වගේ අපි ළඟ තියා ගන්නවා. හැමදාම ඔයා තමයි මුල් තැන. ඔව්  හැමදාම.
ඔයා හවසට වාඩිවෙලා ඉන්න කැමති වත්තේ කෙළවරේ අපි ලස්සන සමර් හට් එකක් හැදුවා. වත්තේ ලී බංකුව තීන්ත ගාල අලුත් කළා . අපි අර යන්න බැරි වෙච්ච ඇලස්කා ට්‍රිප් එක මේ සමර් එකට යමු.

එන්න තාත්තේ අපි හැමෝම බලා ඉන්නවා

මීට ඔයාට පණ  වගේ ආදරේ

සිල්වියා

Photo: insure.com

Thursday, May 21, 2015

පිටස්තරයා සමග රාත්‍රියක්

ම්බලපිටිය වෙරළට ඝෝෂාව දාගෙන , ලුනු රසැති  මුහුදු හුළං හමද්දී  අපි දෙන්නා එකිනෙකට නුදුරින්  පිහිටි ගල්ගෙඩි දෙකක් මත වාඩි  වී සිටියෙමු.
උන් තැනම ඇන තියාගෙන වට පිට අත ගාද්දී හමු වූ පුංචි ගල් කැටයක් අතින් ගත් පිටස්තරයා නැගී සිටියේය.  ගල් කැටය ඈත දියඹට විසි කළේය.
සැන්දෑ කළුවර නිසා එය  කොයි අත  ගියාදැයි පෙනුනේ නැත. මුහුදේ ඝෝෂාව නිසා කැටය  දිය තලය මත ගැටෙන හඬ ඇසුනේද නැත. එහෙත් ඇස්දෙක පියාගෙන වුව ගල් කැටයේ ගමන හා ඉරණම ගැන චිත්තරුප මවා ගන්නනට පුළුවන් විය.

පහුගිය අවුරුදු විසි දෙකක් තිස්සේ උඹ ගැනත් මම ඔහොමයි හිතුවේ. පිටස්තරයා කිව්වේ.

ඒ කිව්වේ ?

හම්බුන් නෑ  දැක්කේ නෑ . ඒත් මෙහෙම තැන්වල  ඇති මෙහෙම ඉන්නවා  ඇති කියල දැනුණා

උඹට මතකද දවසක් සිගරට් තුනක්  අතේ තියාගෙන අපි මේ වැල්ලේම  එහෙ මෙහෙ ගියා ගින්දර ටිකක් හොයා ගන්න බැරිව. ටුටුත් අපිත් එක්ක හිටිය . පස්සේ මුරට හිටි පොලිස් කාරයෙක් අපිව චෙක් කරා.

පාරේ රස්තියාදු වෙන්න එපා කියල අපිට දෝස් මුරෙත් දැම්මා .

ඊට පස්සේ යන්නම් කියල අපි යන ගමන් නිකමට වගේ මිනිහගෙන් ඇහුව ගින්දර තියෙනවද කියල .

ඒ භීෂණ කාලේ ඉවර  වෙලා අවුරුදු කීපයකට පස්සේ.. කොළඹ කොටි ගහන  කාලේ . කොළඹත් කෝච්චි පාරේ තැන තැන මුර. අපි වැඩ කලේ මුහුද අයිනේ සයිට් එකක

මල්ලි මමත් මේ සිගරට් එකක් බොන්න විදිහක් නැතිව හිටියේ . සිගරට් තියෙනවා. ගිනිපෙට්ටියකුත් තියෙනවා . හැබැයි එකම එක ගිණි කුරයි තියෙන්නේ. ඒක ගහන්න බයයි මේ අලුගුත්තේරු මුහුදු හුලඟටයි පින්නටයි ඒක නිවිලා යාවි. එලි වෙනකන් හීතලේ ඉන්න වෙනවා එහෙම වුනොත්.

ටුටූ  හිනාවෙලා ගිණිකුර  ඉල්ලාගත්තා
මුහුදු හුළං අතින්  මුවා කරගෙන ඒක නිවෙන්න කලින්  සිගරට් හතරක් පත්තු කරා.

ඇයි අපි අර මුරපොලේ හේත්තුව දාගෙන ඊට පස්සේ පැය දෙකක් විතර කතා කරපු එව්වා.
ඌ හොඳ එකා බන්.

උඹේ බ්ලොග් එක මම බලනවා . මම තාමත් කැමති උඹේ පළවෙනි පොස්ට් එක යවුල ගහට. අදට  හරියටම අවුරුදු දෙකකට කලින් ලියපු එක. .
ඊළඟට භීෂණයේ මල් පෝච්චි . ඒත් උහුලා ගන්න අමාරු ඒවා ලියනවට වඩා මං  කැමතියි චුටි උක්කුන් අයියා, 23 ශ්‍රී පාන් භාගේ වගේ  මුණු ජොලි මූඩ් කරවන එව්වා වැඩිපුර ලිව්වනම්.

උඹ ඉස්සර කලාකවයට අපි කවි ලියල දෙනකොට බනිනවා නේද ගණිකාවන්ගේ දුකයි, පාන් කෑල්ලක් නැති වුන් ගැනයි විතරක්ම  ලියන්න එපා එම්පයර් ස්ටේට් බිල්ඩිම හදපුවා  එහෙමත්  ලියපන් කියල. ගේ ඉස්සරහ නිකන් වැවෙන ගස් ලබු ගහක් හදා ගන්න බැරි දුප්පතුන්ට උඹ බැන්නා .

උඹයි උඹ ලියන ඒවගේ ඉන්න එකයි දෙන්නෙක්.

ඔව් බන් . මම ගිය සතියේ ලෝකේ උසම බිල්ඩිම  බලන්න ගියා . ඉතින් කාටවත් කියන්න එපා මට හිතුනා අපි කරලා තියෙන්නේ මොනාද කියල. සාහිත්‍යය ලෝකෙත් එහෙම්මම තමයි.

ෂ් ෂ් පිටස්තරයා මාව නැවැත්තුවා.

යකෝ උඹ දන් නෑ සංස්කෘතියක් බිහි වෙන්නේ කොහොමද කියල. ඒවා රටකින් රටකට වෙනස්. බොහොම සියුම් කලා නිර්මාණ ගැන ඔහොම රළු විදිහට කතා කරන්න එපා .

උඹ ඉසිස්සෙලම රස්සාවට ගිහිල්ලා අදට  අවුරුදු විසි දෙකක් වෙනවා.

ඔව් මට මතකයි .

උඹට ඒක විතරක් මතකයි.

ඒත් උඹට මුල අමතකයි .

ඇයි උඹ එහෙම කිව්වේ? .

උඹට මතකද උඹ ඉස්සෙලාම රස්සාවට යන්න කලින් ප්‍රොසෙසින් ලැබ් එක ළඟ දැවටී දැවටී හිටි හැටි. අර ඉන්ස්ට්‍රක්ටර් වේකන්සිය උඹේ කියල හිතාගෙන. එතකොට අනුරාධපුරේ රස්සාවට යන්න ලැබිච්ච ලියුමත් උඹේ අතේ.
ඔව් බන් ඒ මම කැම්පස් එකේම රැඳිලා ඉන්න කැමැත්තෙන් හිටි නිසානේ.

 අර ලයිබ්‍රරියේ තිබ්බ පොත් කන්දරාව. තව පොත් ලියන්න නාට්‍යය කරන්න උඹට තිබ්බ ආශාව. තව තව ඒවා.

ඒත් ශාන්තිනී නෝනා මොකද කිව්වේ. මේ පැත්ත පළාතේ එන්න එපා. එලියට ගිහිල්ලා ලෝකේ බලල වරෙන් . තව අවුරුදු පහලවක් විතර ගියාම උඹට ආයෙත් මෙහේ එන්න පුළුවන් . මේකේ ඇතුලේ හිටියොත් උඹ කොටු වෙනවා කිව්වා මතකද.

දැන් මොකද උඹට ඒ ගැන  හිතෙන්නේ, එදා ගත්ත තීරණේ ගැන.

ඔව් බන් ඊට පස්සේ කොච්චරක්  නම් දේ වුනාද? මොනා වුනත් ගත වෙච්ච කාලේ ගැන සතුටුයි.

මම ප්‍රොෆ්  ශාන්තිනී ගැන කවදාවත් ලියල නෑ. ඒක කොච්චර් සුන්දර කාලයක්ද. ලේක්චර්ස්  වැඩ ඉවර වෙලා අංශ ප්‍රධානියෙක් තමන්ගේ ගෝලයෙකුට තේ එකක් හදල දීල පැය ගණනක් නාට්‍ය ගැන, සංගීතය ගැන  කතා කර කර හිටපු කාලයක්. මහා යන්ත්‍ර සුත්‍ර , බීකර බියුරෙට්ටු දෙපැත්තේ තියාගෙන. බිත්තියේ එල්ලාපු න්‍යෂ්ටික බලාගාරේක පින්තුර දිහා බලාගෙන .

ඉතින්
ඉතින් තමයි දැන් මොකක්ද කරන්න හිතාගෙන ඉන්නේ ?.
ලියනවා

අර කිව්ව නවකතාවද

ඔව්

හාහ් හාහ් හා . පිටස්තරයා මහා හයියෙන් හිනා වුනා .

ඇයි උඹ හිනා වෙන්නේ ?

ඒකට උත්තර දෙන්න පිටස්තරයා හිටියේ නැත  . වෙරළත් නැත.. මුහුදු හුළඟත් නැත .

මේ මගේ 75 වැනි පොස්ටුවයි. පෝස්ට් කර නිදා ගන්නට ඕනෑය .


Phopto:  absolutebility.com

Monday, May 18, 2015

පොඩි විජේ, අඹ විජේ හා බට්ටී

රණ තාලේ වැඩබිම් කන්තෝරුවේ දොරකඩට වී බාච්චු කමිසයක් හා  හිර දිග කලිසමක් ඇඳ  තට්ට හිසින් බේරෙන  දාඩිය පිටි අත්ලෙන් පිසදාමින් හිනැහුණු පුද්ගලයාගේ මුවේ ඉදිරිපස දත් දෙක තුනක අඩුවක්  තිබිණි. පෙනුමෙන් ඉතා කුඩා වූ ඔහු මා එන බව කල් තියා දැනගෙන සිටියේය.

යං  මහත්තයා වාඩි  වෙන්න.

බොහොම ස්තුතියි. කෝ ලොකු මහත්තයා ?

ලොකු මහත්තයා මැකී ගියා. මමත් මැකී ගිහින් දැන් තමයි ආවේ .
මට විහිලු කරනවද කියා අසන්නාක් මෙන් ඔහු දෙස බැලීමි.
පැන්ට්‍රියේ තේ හදමින් සිටි ජයසේකරට කතා කළ ඔහු මේ මහත්තයාට තේ එකක් ගෙනත් හෑන්ඩ් ඕවර්  කරපන් කියා කීවේය.

මේ වෙන කවුරුවත් නොව  වැඩබිම් කන්තෝරුවේ කාර්යාල සහකරු බවත් ඔහුගේ හැබෑ නම තෝමස් වගේ එකක් වුනත් කවුරුත් ඔහු අමතන්නේ ' පොඩි විජේ' කියා බවත් මම පසුව දැන ගතිමි.

පොඩි විජේ මොන කතාවාක්  මැද්දට වුනත්  ' හෑන්ඩ් ඕවර් ' කියන වචන දෙක දැම්මේය. ඊට හේතුව බොහෝ විට ඔහුට ලැබෙන්නේ කාට හෝ ' හෑන්ඩ් ඕවර් ' කරන්න කියා දෙන ලිපියකි.
වතාවක් ඔහු මට කිව්වේ 'මහත්තයා අපේ ඉස්ටෝරුවේ දොර පුංචියටනේ හදලා තියෙන්නේ . බලන්න ඒකෙන් දෙන්නෙකුට එක පාර හෑන්ඩ් ඕවර් වෙන්ඩ  බෑනේ කියලාය.

කාගේදෝ මරණයක් ගැන කියද්දී මැද්දට පන්න ඔහු කිව්වේ 'එකනේ අනිච්චාවත සංඛාරා උප්පාධ  වය ධම්මිනෝ කියල බුදු හාමුදුරුවෝ හෑන්ඩ් ඕවර් කරලා තියෙන්නේ' කියලාය.
සෙස්සන්ගේ  රැවුම් ගෙරවුම් මැද  පොඩි විජේ  ඒ වැරදි  කතාව ගැනනම් පසුතැවිලි වන බව පෙන්නුවේය.

ඔහු ඒ දවස්වල ප්‍රිය කළ දෙයකි මැකී යෑම' . මැකී යනු අපි ගනුදෙනු කළ පුද්ගලික ආයතනයක නමකි.

පොඩි විජේ යන නම ඔහුට පට බඳුනේ ඔහු නිතරම අඹ විජේ හා කැඳ  විජේ යන මිතුරන් දෙදෙනා සමග කයිවාරු ගසමින් සිටි නිසාය. ඒ දෙන්නටම වඩා උසින් හා මහතින් අඩු නිසා පොඩි විජේ යන්න ඔහුට සින්නක්කරේ අයිති විය.

කැඳ විජේ උදේ පාන්දර අලව්වේ සිට වැඩට එන වැඩබිම් සේවකයෙකි. පාන්දර තුනට නැගිටින ඔහු බිරිඳ විසින් සාදා දෙන කොළ කැඳ පාප්පය සුදු පාට ප්ලාස්ටික් කෑන් එකක දමාගෙන පැය දෙක තුනක් තිස්සේ බස්වල රස්තියාදු වී මුත් උදේ හය හමාර වෙන විට වැඩබිමට එයි. ඉන්පසු කැන්ටිමේ  ලිපක මුට්ටියක් තබා කොළ කැඳ  තුනී වෙන්නට වැඩිපුර වතුර දමා උණු කර ගනී. වැඩ පටන් ගන්නා හෝරාව  වන තුරු කොළ කැඳ විකුණන ඔහුගේ පාරිභෝහිකයන්  අතර වැඩබිම් සේවකයෝ පමණක් නොව ඉන්ජිනේරු  මහත්තුරුද සිටියෝය.

අඹ විජේ අපේ වැඩ බිමට හේත්තු වුනේ අමුතුම ආකාරයකටය. සීරුවට පොතු සුරා හීනි පෙතිවලට පලා ලුණු දැමු අඹ වට්ටියක් උස්සාගෙන උදෙන්ම  වැඩබිමට  එන්නට පුරුදු වී සිටි විජේ ටික කලකින් අඹ විජේ බවට පත් විය. කැපූ අඹවලට අමතරව නොකැපු අඹද ඔහුගේ වට්ටියේ විය. ඒවා හොඳ පැසුණු කර්තකොලොම්බන් වීම නිසා ඔහුගේ අඹ වට්ටිය වැඩබිම් සීමාවෙදීම ඉවරයක් විය. ඉන්පසු අඹ විජේ කැරකි කැරකී ඒ අවටම සිටි නිසා මහත්තුරු ඔහුව පොඩි පොඩි වැඩවලට කඩේ යවන්නට පටන් ගත්තෝය. අවුරුද්දක් විතර යනකොට ඔහු අනියම් සේවයකයෙක් ලෙස රස්සාවට බැඳුනේය. ඔහු පර්චසින් සහකරු විය. ආමර්වීදිය පුරා ඇවිද  අවශ්‍ය තරමේ පීරී, යකඩ ඇණ , කියත් තල ආදී සුළු සුළු මිලදී ගැනීම් කරගෙන එන්නට ඔහුට පැවරිණි.

පොඩි විජේ කළුතර සිට රස්සාවට එමින්  යමින්පොඩි උන්  තුන් දෙනෙකුගේ කුස ගින්න නිවා ගන්නට අපමණ වෙහෙසක් දැරුවේය. කිසිදාක හොර බොරු නොකලා වුනාට උපක්‍රමශීලීව මහත්තුරුන්ගෙන් ගතමනාවක් කොටා ගන්නට ඔහු හුරුබුහුටි විය.

ගෙදරින් බත් එක ගෙනාවාදයි නිතර අමතක වන ජයවීර මහත්තයා කෑම කාමරයේ වාඩි කරවා  කැන්ටිමෙන් බත් එකක් ගේන්නට රුපියල් විස්සක් ඉල්ලා ගනී. ඉන්පසු පොඩි විජේ කෙලින්ම යන්නේ ජයවීර මහත්තයාගේ කාමරයටය. ඔහුගේ පයිල්  බැගය ඇර කෑම පාර්සලය ගන්නා ඔහු එය මැටි පිඟානක දමා වතුර වීදුරුවක්ද සමග කාගේ හෝ සමග මෙලෝ සිහියක් නැතිව කයිවාරු ගසමින් සිටින ජයවීර මහතා ලඟින් තබයි.

පොඩි විජේ කළ දේ දන්නා අපට කෑම කද්දී බත් එකට අනා ගන්නට නොමිලේම සිනා රසය ලැබිණි.

ඇතැම්විට කාගේ හෝ  කාරයක්  සෝදා දමන ඔහු කමිසයේ හා කලිසමේ අත් නමාගෙන ඇඟපුරා  වතුර ඉහගෙන රථය  හිමි නිලධාරියා පෙනෙන මානයේ එකෙල මෙකෙල වෙයි.

වාහනේ   හොඳටම ජරා වෙලා මහත්තයා. ඔහොම පාරේ යන්න පුලුවන්ද? හිනාමුසු මුහුණින් විජේගේ  අතේ කීයක්  හරි තියන නිලධාරියා විහිලුවට මෙන් ඔහුට තරවටුවක් කරයි.

එක නිවාඩු දවසක ජයවීර මහතා මහා පාන්දර ඇහැරී ඇත්තේ කවුදෝ සර බර ගාමින් මිදුල අතු ගාන හඬක් ඇසීමෙනි . අසනීපයෙන් සිටින සිය බිරිඳ මේ වෙලාවේ එලියට බහින්නේ  නැති බව දන්නා ජයවීර හීන් සැරේ  ජනේලය ඇර බලද්දී දුටුවේ තාප්පයෙන් මිදුලට පැන ඉදලද සොයාගෙන මිදුල අතු ගාන පොඩි විජේය.
සිය දරුවාගේ අසනීපයකට මුදල් හදිස්සියක් වී කීයක් හරි සොයා ගන්නට පොඩි විජේ ආවේ එහෙමය.

පොඩි විජේ මරු ආවේශ වී කෑ  කොස්සන් ගැසුවේ ඔහු හා බට්ටී අතර තිබෙන සම්බන්ධයක් ගැන අනික් උන් උසුළු විසුළු කරන විටය.

අපේ වැඩබිමට නුදුරින් පිහිටි බට්ටිගේ කඩයට හැන්දෑ වෙද්දී මදක් ගොඩවී එන්නට පුරුදු වී සිටි කීප දෙනෙක්ම විය. පොඩි විජේ ඒ පැත්තට වැඩිපුර ගියේ නැතිවාට බට්ටී ගැන කියමින් ඔහුව බයිට් කිරීම නොකඩවා සිදු විය.

එක් හැන්දෑ වරුවක උතුරන කේන්තියෙන් සිය සගයින්ට බැණ වදිමින් ඔහු මා සොයා ආවේය.
බලන්න මහත්තයා අපේ  කාලකන්නි මිනිස්සු අර අහිංසක ගෑනියෙකුට  එක එක කතා කියන විදිහ. මටනං මොනා කීවත් කමක් නෑ .

' ඉතින් විජේගේත් ඒ මනුස්සයා ගැන පොඩි අනුකම්පාවක් තියෙනවා වගේනේ'  මා කී දෙයින් විජේ තව තවත් පරල විය.

යං  මහත්තයා මේ දැන්ම  යං . මං  බට්ටිව මහත්තයාට පෙන්නන්නම්. එතකොට තේරෙයි මේ  කියන්නේ මොකක්ද කියල.

අපේ ෆෝමන් මහත්තුරු පවා ඉඳ හිට බලන්නට යන බට්ටී කවුදයි දැක බලා ගැනීමේ ආසාවක් මා තුලද තිබු නිසා මිදුලේ  නවත්වා තිබු ජයසේනගේ පරණ පර්ජෝ කාරයට විජේවත් නංවාගෙන හා යමන් කියා කීවෙමි.

වැඩම්බිමට පිටිපස්ස්සේ දුර්වර්ණ ලෑලි ගෙවල් පේලිය පසුකළ  පසු කොහොඹ ගහක් සෙවණේ  පෙට්ටි කඩ කැල්ලක්  තිබුනේය .
 ඔහොම නවත්තන්න.

මහත්තයා අන්න බලා ගන්න බට්ටි කියන්නේ කව්ද කියල.

කෝ කවුරුවත් නෑනේ .

පෙනෙන්න සිටියේ ඉස්සරහ තැඹිලි ගෙඩි දෙක තුනක් හා වීදුරු බෝතලයකට දැමු ලොසින්ජර  කීපයක් පමණක් විකුණන්නට තිබු කඩයේ වාඩි  වී සිටි වියපත් ගැහැණියක් පමණි. උඩුකය නිරුවත්  පුංචි උන් දෙන්නෙක් මිදුලේ සෙල්ලම් කරමින් සිටියහ.

ඔය වයසක උන්දැට තමයි මුන් බට්ටි කියන්නේ. මේ ගමේ කියන නම. ඔය මනුස්සයාගේ දූ ළමයි දෙන්නෙක් හදාගෙන උන් දෙන්නා අම්ම ළඟ තියල තව එකෙක් එක්ක පැනල ගහින්.

ඉතින් අපේ මිනිස්සු මෙහෙ එන්නේ මොකටද?
ඔය මනුස්සයා කඩේ පිටිපස්සේ කසිප්පු විකුනනවා. පව්. ජීවත් වෙන්නනේ  මහත්තයෝ ඔක්කොම කරන්නේ.

එදා සිට පොඩි විජේ මට ලොකු විජේ කෙනෙක් ලෙස පෙනුනේය.


සටහන:

මේ දවස් වල වැඩ නැවතී ඇති ඉදිකිරීම් නිසා විජේලා හා බට්ටිලාට කුමක් වී ඇත්දැයි සිතෙයි

Photo: pagalaparrot.com