Thursday, January 28, 2016

අකීකරු පොඩ්ඩාගේ ඩයරිය


නිතර ටී වී බලන, ෆේස් බුක්  එකේ  දවසින් වැඩි වෙලාවක් සරන මගේ මිත්‍රයෙකුට අකීකරු පුත්‍රයෙක් සිටියේය. පහළොස්‌ හැවිරිදි මේ පුත්‍රයා නිතර දෙවේලේ අසන ප්‍රශ්නවලින් සමහරක් ගැන හා ඔහුගේ කල්ක්‍රියාව ගැන මගේ මිත්‍රයා කණස්සලු වෙන බව මම දනිමි. මේ අකීකරු පුත්‍රයා දිනපොතක් ලියන බවද මට දන ගන්නට ලැබිණි .   ඔහුගේ ඩයරියේ මේ වගේ සටහන් තිබෙන්නට පුළුවන් බව මට සිතෙයි.

ජනවාරි 10 
අප්පච්චිලා හැමෝම කතා කරන්නේ සින්දුවක් ගැන . මීට කලින් කවදාවත් අහල නැති සිංදුවකට කට්ටිය ඇවිස්සිලා . ඒත් ඒක කියන ඇක්සන්ට් එකවත් කලින් සින්දුව හොඳද අලුත් සින්දුව හොඳද කියන එකවත් නෙමෙයි මට තියෙන ප්‍රශ්නේ . ඒකෙ කියන 'පව් කාරයෝ' කව්ද කියන එක. උතුරෙදියි දකුනේදියි මිනිස්සු මරුණලු. ඒකට වග කියන්න ඕනි පව් කාරයෝලූ . අප්පච්චිගෙන්  මේ ගැන ඇහුවම කෙලින් උත්තරයක් දුන්නේ නෑ ?  ඒ පව්කාරයෝ දන් මැරිලද අප්පච්චී ?

අප්පච්චී  කරබාගෙන ඉඳල මෙහෙම කිව්වා . 'ඔය ප්‍රශ්නෙට මැරිච්ච අයයි නැති අයයි සේරම බයයි . හැමෝම ටික ටික පව් කාරයෝ නිසා' .

අර ආන්ටි සින්දුව කියල 'තෙපි නෙවේද පව් කාරයෝ ' කියල ඇඟිල්ල දික්කරනකොටත්  ගොඩක් දෙනෙක් මූණ  හංගාගන්න බලනවා මම දැක්කා . අනික කවුරුත් ඔය සින්දුව එලියට ගන්නේ  නැතිව සෑහෙන කාලයක් හංගලා තිබ්බෙත් ඔය ප්‍රශ්නෙට  බය වෙලා හින්ද වෙන්න ඇති .
.
ජනවාරි 25 

ඔන්න අද දෙවැනි සින්දුවක් ගැන බර කතාවක් . යුගයේ සින්දුව හම්බ වෙලාලු . අප්පච්චිලා බියර් බිබී ඒ ගැන කතාව . අලුත් පරපුරේ හඬය කියන්නේ .අප්පච්චිලා ආයේ ආයේ දදා අහනකොට මම පරණ සින්දුවයි අලුත් එකයි දෙකම ඇහුවා . අනේ මමවත් අපේ පන්තියේ එවුන්වත් ඔය සින්දුවටවත් පරණ සින්දුවටවත් වැඩිය ආස නෑ . අර හෝ ගාන පොකුණ බලන්න ගියාම දැක්ක සින්දුයි  ඒ වගේ කතාවලටයි තමයි මම ආස . අනාගතේ අයිති අපිටයි කිව්වට අපේ  කාලෙට අයිති වෙන්න ඕනි මොනවද කියල අපෙන් අහන් නැතිව අප්පච්චිලා තීරණය කරන්නේ ඇයි කියල මම අම්මගෙන් ඇහුව . අම්ම කිව්වේ ඒක එහෙම තමයිලු වෙන්න ඕනී කියල.
මේක මාර කතාවක්නේ!

ජනවාරි 27 

මම අද අප්පච්චිගෙන් ඇහුව අර ආන්ටි වගේ කෙනෙක් තව අවුරුදු දහයකින් විතර අර 'සොයා දියාව් හේ' කියන  සින්දුව කියයිද අප්පච්චී කියල  . 'ආයේ කවදාවත්  එහෙම වෙන් නෑ මයේ පුතේ. උතුරෙවත් දකුණේවත් කොල්ලො කේල්ලෝ මරන්න අපි ඉඩ දේන්නේ නෑ ' කියල අප්පච්චී කිව්වා .

ඒත් අප්පච්චී බැරි වෙලා හරි එහෙම උනොත් ඒ සින්දුවේ හැටියට පව්කාරයෝ වෙන්න ඕනි දැන් ඉන්න කවුරුහරි නේද කියල මං ඇහුවම අප්පච්චී තුෂ්නිම්භූත වෙලා මගේ දිහා බලාගෙන හිටියා . මං ආයේමත් ඇහුවා 'කවුද අප්පච්චී පව් කාරයෝ' ?

අප්පච්චී උත්තරයක් දෙන් නැති නිසා මම ඔහේ ටී වී නිව්ස් දිහා බලාගෙන  හිටියා . ගොඩක් මිනිස්සු ඒකෙ පෙන්නුවා

'ඔය පෙන්නන්නේ ඒ පව්කාරයෝ තමයි' කියල අප්පච්චි බිම බලාගෙනම කාමරේට ගියා

Photo : cathtatecards.com

Thursday, January 14, 2016

අපේ ගෙදර ආ මහගම සේකර

ලකට පෙර අපේ ගෙදර සුවිශේෂ වීදුරු බන්දේසියක් තිබුනේය. වටේට හැඩ දමා  ගොතන ලද වේවැල් රාමුවක් මැද්දේ ලස්සන චිත්‍රයක් වීදුරුවක ඇඳලා තිබුනේය . අපේ තාත්තාට ට්‍රේනින් කොලිජියේ යාලුවෙක් මේ බන්දේසිය තෑගී කරදදී කියා තිබුනේ  චිත්‍රය ඇන්දේ ඔහු හඳුනන ප්‍රකට චිත්‍ර ශිල්පියෙක් වන මහගම සේකර බවයි . මහගම සේකර බන්දේසිවල චිත්‍ර ඇන්දා කියා විශ්වාස කරන්නට බැරි වුනත්  අපේ ගෙදර වහරට එකතු වූ 'මහගම සේකර' යන නමට නොදන්නා වටිනාකමක් ලැබී තිබිණි .මෙකී හේතුව නිසාම ඒ වීදුරු බන්දේසිය පසුකලෙක ඉස්තෝප්පු බිත්තියේ චිත්‍රයක් මෙන් එල්ලා තිබුනේය.

ලා කොළ පාට පසුබිමක සුදු පාටින් නටන නළඟනක්  එහි සිටියාය. පසෙකින් ඇදෙන රතුපාට මල්වැල මා සිතා සිටියේ නළඟන ගිල දැමීමට සැරසෙන මකර  රුවක් සේය. මල්වැල අගිස්සෙන් පැන මතුවූ අතු දෙක කට අරින්නා සේ නැට්ටුක්කාරියගේ  හිස පැත්තට යොමු වී තිබිණි . මම විටින් විට බන්දෙසියට ලං නොවී වුනත් සොයා බැලුවේ මේ මකරා  බවලතාගේ ඔලුවට අවදානම් ලෙස ලං වී ඇත්දැයි කියලාය.

මහගම සේකර කියන විට මුලින්ම මගේ කල්පනාවට ආවේ  අපේ අයියාට ටිකක් වැඩිමල් කොලු ගැටයෙක්ගේ රුවකි . ඒ වුනත් ඔහු අපේ තාත්තාටත් වඩා අවුරුදු කීපයක් වැඩිමල් රටම පිළිගත් අයෙක් බව මා දැන ගත්තේ සේකර මලාටත් පසුවය.

ඔහුගේ මරණයත් සමග මහගම සේකරගේ කවි ගීත ගැන උනන්දුව ඇවිලෙද්දී අර වීදුරු බන්දේසිය දෙස මම බැලුවේ දිනෙන් දින වැඩිවන ආදරයකිනි .
++++++

මම අම්මා හා තාත්තා බැලීමට ගමේ ගිය මෑත කාලයේ දිනෙක අර බන්දේසිය එල්ලා තිබු බිත්තිය දෙසම බලාගෙන ගෙට ඇතුල් වුනෙමි. එහෙත් බිත්තිය හිස් වී තිබුණ අතර අම්මා කුස්සියේ කුමක්දෝ කරමින් සිටින හඬ ඇසිණි .
මළහිරුගේ අවසන් රැස් දහර සපුගස් මණ්ඩියට හොරෙන් අපේ සාලයට පෙරී ඇවිත් තිබුනෙන් වේවැල් හාන්සි පුටුවේ අමුත්තෙක් වාඩී  වී සිටින බව මට පෙනිණි. ඔහුගේ සාක්කුවේ තිබුන අලුත්ම පාකර් පෑනටද  හිරු රැස් කැරැල්ලක් පතිත වී තිබුනේය. ඔහුගේ අතේ තිබ්බ ත්‍රී රෝස් සිගරැට් පැකට්ටුව නිසා මගේ කුතුහලය තවත් වැඩි විය .

'මම සේකර' ඔහු සිනාසුනේය . 'එනවා කියල ආරංචි වුන නිසා මම පොඩ්ඩක් කතා කරලා යන්න හිටිය' . ඔහු නිරෝගී දසන්පෙල දක්වා ලෙන්ගතුව සිනාසුනේය. මා සිතා සිටියාට වඩා ඔහු තරුණය. කඩවසම්ය.

'වෙන්ඩ  බෑ' . මම මටම කියා ගත්තෙමි .
සේකර කියන්නේ පාකර් පෑන් එපා කියපු දුප්පත් කලකාරයෙක්නේ. අනික සංවේදී මිනිහෙක්නේ . හොඳට බොන්න ඇති. මීට වඩා දිරා ගිහින් ඉන්න එපැයි .

මගේ සිත කියෙව්වාක් මෙන් ඔහු මා ඇමතීය .

'මම ආවේ පණිවිඩයක් කියල යන්න' .
මොකක්ද ? මම ගරුසරු ඇතිව අසීමි .
'අලුත් සේකරලා හොයාගන්න කියල සමාජෙට කියන්න' .

'ඒ වුනාට ඔබ තරම් අව්‍යාජව ලියපු. බෞද්ධ දර්ශනයෙන් පදම්  වෙච්ච  ගැමි කමෙන් මටසිලිටි වෙච්ච විශ්ව සාහිත්‍යයෙන් පෝෂනයවෙච්ච කලාකරුවෙක් ඊට පස්සේ බිහි වුන් නෑනේ'.

ඔහු මහා හඬින්  හිනා වුනේය.

'හිටියා බ්‍රෑන්ඩ් වුන් නෑ . එක්කෝ උන් විසින් විනාශ වුනා නැත්නම් සමාජේ ඒ මිනිස්සුන්ගේ පොඩි අඩුපාඩුවක් ලොකුවට අරන් නොසලකා ඇරියා'.

'ඒත් ඔබට ඉතිහාසේ තියෙන්න ඕනි ප්‍රතිරුපේ?' .

'ඒකට හානියක් වෙන එකක් නෑ පුතා . මම අවංකව මිනිස්සුන්ට ආදරේ කළා . රස අඳුනා ගත්තා .හිතට එන දේ ලිව්වා. මටම තේරෙන විදිහට ඒවායින් බොහොමයක් සෞන්දර්ය අගයෙන් ඉහළයි' .

'ඒ කියලා මම අවුරුදු හතළිහකට පනහකට කලින් ලියපු පසුබිම අරන් අද නිර්මාණය වෙන දේ සංසන්දනය කරන්න යන්න එපා . අලුත් වෙන්න බලන්න' .

'සිගරට් කොලේක පිටිපස්සේ පැන්සල් කොටේකින් ලියන ඒවා විතරක් නෙවෙයි කවි'.

එහෙනම් ?

'බිස්නස් ක්ලාස් මෙනු කාඩ් එකක පිටිපස්සේත් හොඳ කවි ලියවෙන්න පුළුවන්. ඒවත් අතාරින්න එපා'.

මේ කතාව මොන තරම් බරපතලේට මට දනුනාද කියලා කීවොත් ඉක්මනටම තේ එකක් දී සේකර පිටත් කර අරින්නට ඕනෑ  කියා මම හඬ නගා අම්මා ඇමතීමි .

අම්මේ !

චීත්තයෙන් අත්ල පිසලමින් අම්මා කුස්සියේ සිට දිව ආවාය.

' අම්මේ මේ ' මම සේකර වාඩි  වී සිටි තැන අම්මාට පෙන්වීමි.

මොකක්ද පුතා ?

අම්මා විපිලිසරව එසේ අසන විට මොහොතකට කලින් සිටි පුටුවේ සේකර නැති බව මට පෙනිණි .

අම්මා පුදුමයෙන් මා දෙස බලද්දී මම  ඇයගෙන් මෙසේ ඇසුවෙමි .

'අම්මේ ඔතැන බිත්තියේ  එල්ලලා තිබ්බ පරණ වීදුරු බන්දේසිය කොහෙද' ?

'ආ ඒක මේ ගෙයි සමර ගාන්න ආපු වෙලාවෙ කවුදෝ ගලවලා අයින් කරලා . හොයලා දෙන්නද ආයේ එල්ලන්න?' .

' එපා අම්මේ. අලුත් පින්තුරයක් එල්ලන්න කියල තමයි සේකරත් කිව්වේ'


(මා වැඩියෙන්ම  ආදරය කරන ලාංකික කලාකරුවාවන මහගම සේකරයන්ගේ හතලිස්වන ගුණ සැමරුම වෙනුවෙනි )

Friday, January 1, 2016

බයිසිකල් අනතුර හා අගලට වැටුණු ගැහැණිය

ගිය අවුරුද්දේ මට හමු වූ හෝ අසන්නට ලැබුණු මතක හිටින චරිත කීපයක ලැයිස්තුවක් තිබේ . ඉන් දෙදෙනෙක් ගැන අද ලියමි.
පළමු කතාව
බස්නාහිර පලාතේ  උසාවියක විබාග වෙමින් තිබුණු නඩුවක නිමිත්ත වුයේ පාර මාරුවෙමින් සිටි වයෝවෘද ගැමියෙකු මෝටර් සයිකලයක හැපී දැඩි සේ තුවාල වීමය. මෝටර් බයිසිකලය පදවාගෙන ගියේ ලයිසන් නැති  ගැටයෙකි.
'අනේ අපරාදේ තාත්තා මොන එහෙකට මේ හවස් ජාමේ ඇවිදින්න ගියාද' කියා ඇසු ඔහුගේ දරු මුණුපුරන් බයිසිකල්කරු ගැන ඒ හැටි තද ප්‍රතිචාර දක්වන්නට ඉදිරිපත් වුනේද නැත.
හිස පිටුපස පාරේ ගැට්ටක වැදීම නිසා මගියාගේ සිහිකල්පනාව අහිමිව යෑමේ අවදානමකට මුහුණ දී සිටියේය.
එසේ  තිබියදීත් සිය පියාට මොන තරම් ආදරේ වුනත් බයිසිකල් කරුවා මිරිකා වධ බන්ධනයට ලක් කිරීමට ඒ දූ දරුවෝ  උනන්දුවක් නොගත්හ.
එහෙත් උසාවියේදී අනෙක්  පාර්ශවයට විශාල වන්දියක් ගෙවන්නට සිදු වෙතයි ඇති බිය නිසාම විත්තිකරුවන්ගේ පැත්තෙන්  බාල තර්කයක්ද ඉදිරිපත් වි.
'මේ බයිසිකලයට හැපුණු  පුද්ගලයා මානසික රෝගියෙක්, පිස්සෙක් . එකපාරට  බයිසිකලේ දෙසට පැන්න නිසා එය පදවන්නාට හසුරුවා ගන්න බැරි වුනා' මෙන්න මේ වචන ටික  ඇසෙනවාත් සමග වින්දිතයාගේ දුරු මුනුපුරු හා නෑදෑ පිරිස විශ්මයටත් , ශෝකයටත් කෝපයටත් පත් වුහ.
නෑ අපේ තාත්තා පිස්සෙක් නෙවෙයි! .
ඊළඟ නඩු දිනයේදී ඔවුහු සුදානම් වී ආවෝය.
"මේ තියෙන්නේ තාත්තා ගමේ පන්සල හා ගමේ ඉතිහාසේ ගැන ලියපු පොතක්  . මේ තියෙන්නේ අවුරුදු පණහක් තිස්සේ ලියන දිනපොතේ අවුරුදු කීපයක සටහන්.
බලන්න මේ අනතුර වෙච්ච දවසට කලින් දවසේ ලියපු දින සටහන. කොච්චර නිරවුල් මනසකින්ද ලියල තියෙන්නේ . මෙන්න ඔහු ළමයින්ට ලියපු සින්දුවක් . මේ වගේ කවි සින්දු අහගන්න ඒවා තාලයට කියන්න අපේ පවුලේ විතරක් නෙවෙයි අහලපහළ  ගෙවල්වල ළමයිනුත් හැන්දෑ  වෙද්දී අපේ මිදුලට එනවා. සමහර දවස්වල තාත්ත මේ ළමයින් අල්ලාගෙන නාට්‍ය රඟ  දක්වනවා.
මේ දරුවෝ  ඒවාට මොන තරම් කැමතිද කියනවා නම් අලුත් කොම්පියුටර් ගේම් රුපවාහිනී නාට්‍යවලට නැති කැමැත්තක් ඔහු කියන දේට දක්වනවා . ඔහු ඒ තරම් සොඳුරු මිනිසෙක්.
ඔබ තුමාම කියවලබලන්න මේ දින සටහන් කවි සින්දු ටිකක් "
උසාවිය මීයට පිම්බා සේ නිශ්ශබ්ද වුනේය.
නඩුකාර තැන කල් වෙලා අරගෙන පොත් ටික අතරින් පතර එහෙත් සැලකිල්ලෙන් කියවා බැලුවේය
ඉන්පසු බොහෝ ගැඹුරු  විලාශයෙන් මෙසේ කිව්වේය. "මේ මිලක් කියන්නට බැරි තරම් වටිනා මිනිහෙක්. ඔහු උම්මන්තකයෙක් නෙවෙයි. ඔහුට වූ අසාධාරණයට කැමති වන්දියක් ඉල්ලන්න".
පවුලේ සියලු දෙනා එක්වී කතිකා කර ගත්හ.
අවස පවුලේ තීන්දුව ප්‍රකාශ විය.
"මේ නෑදෑ පිරිස වන්දි මුදල් ගන්නට කිසි සේත්ම බලාපොරොත්තු වෙන්නේ නෑ .
ඒත් දඬුවමක් වශයෙන් නොව තවත් එවැනි දෙයක් නොකරන්නට පාඩමක් ලෙස විත්තිකරුවන්ගෙන් යම් වන්දි මුදලක්  හෝ සේවාවක් ගමේ පන්සලට ලබා දෙන ලෙස ඉල්ලා හිටිනවා."

මේ මගේ හිතවතෙකුගේ මාමණ්ඩිය  සෝමසිරි ඉස්කෝලේ මහත්තයාගේ කතාවය.
ඔහු කලකට පෙර විශ්‍රාමගත්  කලාකාමී පාසැල් ගුරුවරයෙකි
අනතුරින් පසු සිහි කල්පනාව අහිමිව සිටි ඔහුට හැඳිනිය හැකි වුනේ සිය බිරිඳ පමණකි.
සිය දුවා  දරුවන් බලන්නට ආවද ඔහුට ඔවුන් ගැන නිච්චියක් නැති විය .
එක දවසක් නිවාඩුවට ගිය මා මිතුරා  අරන් ආවේ සුබාරංචියකි.
"තාත්තට දැන් හෙමිහිට පරණ මතකය ලැබෙනවා'".
නොබෝ දිනකින්ම ඔහු ආයෙමත් දිනපොත ලියන්නට පටන් ගනු ඇත.
මගේ එක් අලුත් අවුරුදු පැතුමක් වන්නේ නිවාඩු පාඩුවේ  සෝමසිරි ඉස්කෝලේ මහත්තයා හම්බ වෙන්නට යාමය .
දෙවන කතාව
ටෝස්ට්මාස්ටර් කථික වැඩ සටහනක් බලන්නට මම ගිය අවුරුද්දේ ගියෙමි . එහිදී කෙන්යානු ජාතිකයෙක් හරි අපුරු කතාවක් කළේය . ඔහුගේ නම ඔම්බුගේ  වගේ එකකි.
'මම මීට අවුරුදු පහළොවකට ඉස්සර  එවකට සිටි පෙම්වතිය සමග නිතර ගැටුම් ඇති කර ගත්තා . ඒත් මම ඇයට මහත්සේ ආදරය  කළා.  මෙහෙම තියෙද්දී මට ඇගේ වෙනත් සම්බන්ධයක් අතටම අසු වූ දවසේ මට මුළු ලෝකෙම එපා වුනා . මම සිය දිවි නසා ගන්නට තීරණය කළා.
හවස වැඩ ඇරිලා ආපු මම නයිලෝන් ලණුවකුත් උරේකට දාගෙන අපේ ගමේ කැලෑ  රොදට ගොඩ වැදුනා . තොණ්ඩුව  ගැට ගැසීමට හොඳ ගසක් හොයමින් මම මේ වන රෝදේ ටිකක්  ඇතුළටම ඇවිදගෙන ගියා . ඒ යන අතරේ මට ඇහුනා කාන්තාවක් උදව් ඉල්ලා කෙඳිරි ගාන හඬ . හෙමින් සැරේ හඬ ආ දෙසට ලං වී බලද්දී මම දැක්කා වල් බුටෑවෙන් වැසී ගිය  පරණ ගල්වලකට පෙරලීම නිසා කකුල බදාගෙන විලාප දෙන තරුණියක්.
මම ආපු කාරණය අමතක කරලා ඇයව ගොඩට ගත්තා. ඉන්පසු පස් කණ්ඩියක් උඩ  වාඩි  කරවා ඇය තනිවම මෙහි පැමිණියේ මන්දැයි ඇසුවා .
ඇය පැමිණ තිබුනෙත් වනයට වැදී වස පානය කොට මිය යන්නයි . එසේ දිවි තොර කර ගන්නා අදහසට ඇයව තල්ලු කළ පසුබිම් කතාත්  මම අසා සිටියා .
එවිට මට තේරුණා මට තිබුණු ප්‍රශ්නය  මොන තරම් සුළු දෙයක්ද කියලා .
කළුවර වැටෙන තුරු අප කතා කර කර හිටියා . ඉන්පසු ඇයව වත්තම් කරගෙන ගෙදර ආවා. අදත් අපේ ගෙදර ඉන්නා මගේ ආදරබර බිරිය ඇයයි.
අගලක වැටී නිරාහාරව මිය යන්නට සිටි ඒ ගැහැණියගේ වටිනාකම මට කියන්නට බෑ .'
****
මේ වගේ මිනිසුන් ගැන  මට අසන්නට සැලැස්සු  2015 අවුරුද්දට මම කැමතිය .
2016 අවුරුද්දේ ලැබෙන දුක සැප සමසිතින් දරාගෙන ජීවිතයේ වටිනාකම ඉහළ නංවා ගන්නට මටද ඔබටද  හැකි වේවායි පතමි .

Image:canvasspainting4less.com